Subscribe ByRSSorEmail

Published on Thursday, 14 March 2013 12:10

RohanaL 360px 13 03 14Mirror - (කැළණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවකි)

සන්නිවේදන විශේෂඥයකු වශයෙන් පොදුවේ රටේ සහ විශේෂයෙන් විශ්වවිද්‍යාල වල සන්නිවේදන තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනය ආරම්භ වන්නේ 70 දශකයේ මැද භාගයේ. විශේෂයෙන් වෘත්තියාභිමුඛ පාඨමාලා මඟින් විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ රැකියා ප‍්‍රශ්නය සඳහා උපාය මාර්ග සෙවීම පිළිබඳ සංවාදයේ ප‍්‍රතිඵලයක් වශයෙන්. මුලින්ම අත්හදා බැලීමේ මට්ටමින් බහු තාක්‍ෂණික ආයතනය තුලවූ හඳුන්වා දීම,පසුව අපේක්‍ෂා කළ පරිදි සන්නිවේදනය විෂය විශ්වවිද්‍යාල වලට හඳුන්වා දීම ඇරඹුනා.

ලංකාවේ පුරෝගාමී ජනසන්නිවේදන විෂය පාඨමාලාව ඒ අනුව ආරම්භ කළේ, එවකට ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල යටතේ පැවති විද්‍යාලංකාර මණ්ඩපයෙන්. ඒ සඳහා මුල්ම සම්පත්දායකයින් සිංහල භාෂාව, වාග් භාෂාව, මානව විද්‍යාව සහ විශ්වවිද්‍යාලයෙන් පරිභාහිරව සිටි සිනමාව, පුවත්පත් කලාව, ප‍්‍රචාරණය, අලවිකරණය, නිර්මාණ සාහිත්‍ය ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රාමාණික විද්වතුන් එකතු කරගෙන තමයි මෙරට ජනසන්නිවේදන පාඨමාලාව ආරම්භ කරනු ලැබුවේ.

යම් යම් වාද විවාද මධ්‍යයේ වුවත් එය ඉතාම ඵලදායි වැයමක් වශයෙන් හඳුන්වන්න පුඵවන්. මෙරට විශ්වවිද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේ ආරම්භ වූ විෂයන් වලට වඩා ප‍්‍රාමාණික හා ගුණාත්මක මට්ටමකට ගෙවී ගිය වසර 40 තුළ ජනසන්නිවේදන පාඨමාලාව කැලණිය විශ්වවිද්‍යාලයේ ගොඩනගන්න පුඵවන් වුණා.
ජනමාධ්‍ය ඇමතිවරයෙක් දක්වා ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ සෑම ආකාරයකටම, නිර්මාණාත්මක හා පරිපාලන, කළමනාකරණ ක්‍ෂේත‍්‍ර වලට අදාළ විද්වතුන්, ක‍්‍රියාකාරීන් බිහි කරන්න සමත්වී තිබෙනවා. ආරම්භක අවස්ථාවේ ජනසන්නිවේදන උපාධීයට පිළිගැනීමක් ලබා දෙන ලෙස ඉල්ලා බලධාරීන් පසුපස යෑමට සිදු වූවත්, අද වන විට මෙරට සෑම ජනමාධ්‍ය ආයතනයකම උපාධිධාරීන් කටයුතු කරන ආකාරය අප ලද ජයග‍්‍රහණයක්.

ලෝකයේ බොහෝ රටවල වගේම අපේ රටෙත් තරුණ පරපුර අතර විශේෂයෙන්, උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් අතර වඩාත් ජනප‍්‍රිය විෂයක් බවට ජනසන්නිවේදනය එක්වීමත් සමඟ මේ වනවිට ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ජනසන්නිවේදන පාඨමාලා විෂයන් ආරම්භ වී තිබෙන ආකාරය දකින්නට පුලූවන්.

මෙහි ඉතා කණගාටුදායක සහ වැරදි ප‍්‍රවේශයන් ද දකින්නට ලැබෙන බව කියන්න ඕන. ජනසන්නිවේදන පාඨමාලාවන් විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනමම ආරම්භ වීම වෙනුවට රටේ තහවුරු වූ, තහවුරු කළයුතු මව් භාෂාව සිංහල අධ්‍යයන අංශයන් ජනසන්නිවේදන අධ්‍යයන අංශ බවට පත්වීම කණගාටුදායක ප‍්‍රවණතාවයක්.

උදාහරණයක් ලෙස මෙරට සිංහල නාට්‍ය කලාවේ හා සිංහල භාෂා අධ්‍යයනයේ විශිෂ්ඨයන් බිහි කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍ය්‍යන අංශය, සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ලෙස ආචාර්වරුන්ම මාධ්‍යවල හඳුන්වා තියෙනවා මම දැක්කා. මව්බස හා ප‍්‍රාචීන විෂයන් සංවර්ධනය කිරීමේ අරමුණින් බිහි වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය දැන් හඳුන්වන්නේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශය වශයෙන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයත් හඳුන්වන්නේ එලෙසිනි. මෙරට මව් භාෂාව පිළිබඳ අනන්‍යතාවයක් ගැන වඩාත් කතා කරන මේ වකවානුවේ මෙසේ වීම වැරදි ප‍්‍රවණතාවයක් ලෙසයි මම දකින්නේ.


රටේ මේ වන විට අරාබි භාෂාව පිළිබඳ අධ්‍යයන අංශ, හින්දි අධ්‍යයන අංශ, දෙමළ භාෂා අධ්‍යයන අංශ, ඉංග‍්‍රීසි භාෂා අධ්‍යයන අංශ, චීන භාෂාව, ප‍්‍රංශ, ජර්මන් එම භාෂා පිළිබඳ පර්යේෂණ කරමින් වර්ධනය වෙද්දී, සිංහල අධ්‍යයන අංශ එම කාර්යය පසෙකලා ජනසන්නිවේදන අධ්‍යයන අංශ බවට පත්වීම මම දකින්නේ සන්නිවේදන අධ්‍යයනය කෙසේ වෙතත් මව් භාෂා අධ්‍යයන ක්‍ෂේත‍්‍රයේ පිරිහීමක් වශයෙනි. මෙය කාගේත් අවධානයට ලක්විය යුත්තක්.

සන්නිවේදන තාක්‍ෂණයේ අතිවිශාල දියුණුවෙන් - ටැබ්ලට් කුඩා දුරකථන සහ දැන්වීම් අංශවල - පොදුවේ රටේ සන්නිවේදනය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇතිවී තිබේද? රටේ ජනතාව අතර සහ ප‍්‍රජාව අතර දැන් යහපත් සන්නිවේදනයක් ඇතිවී තිබේද?

සන්නිවේදන තාක්‍ෂණයෙන් අතිවිශාල දියුණුවක් ඇතිවී තියෙනවා. එය කෙතරම් බලපෑමක් ඇතිකර තිබෙනවාද කිවුවොත් 60 දශකයේ දී ආතර් සී. ක්ලාර්ක් තුමා කිව්ව ගිනි පෙට්ටි වගේ කුඩා විස්මිත උපකරණයක් තොරතුරු ක්‍ෂේත‍්‍රයේ බලපෑමක් කරනවා කිවුවාම අප විමතියට පත් වුණා. ඒක අද වන විට ජංගම දුරකථනය සාමාන්‍ය ජනතාව අතර පවා ව්‍යාප්ත වෙලා. ඕනෑම කෙනෙකුට පෞද්ගලිකව කතා කරන්න පුලූවන් තරමට සරල හා ලාභ වෙලා. ලංකාව ජනගහනයෙන් 60% කට වැඩි ප‍්‍රමාණයක් ඉතා පහළ යැපුම් මට්ටමේ සහනාධාර ලබන මට්ටමේ සිටියත්, ලංකාවේ ජනගහනය වගේ දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයක් ජංගම දුරකථන නඩත්තු කරන්න පුලූවන් සමාජයක් බවට පත්වෙලා තියෙනවා.

ආරම්භක අවස්ථාවේ කෙසේ වෙතත් මේ වන විට ජන ජීවිතයේ සැලසුම් කිරීමත් තොරතුරු හුවමාරු වීමත් දකින්න පුලූවන්. ඉතා සරල උදාහරණයක් කිවුවොත් සාමාන්‍ය ගොවියෙකුට තමන්ගේ නිෂ්පාදන නුවරට යවනවද, කොළඹට යවනවද, දඹුල්ලට යවනවද කියලා තීරණය කරන්නට ඒ වෙළඳපලවල තත්ත්වය මිල දැනගැනීමට මෙම මෙවලම නිසා හැකි වී තිබෙනවා. දුරකථනය අද අන්තර් පුද්ගල තොරතුරු හුවමාරුවක් විතරක් නොවේ. තොරතුරු බෙදා හැරීම, අන්තර්ජාලය, තොරතුරු චිත‍්‍රපටි, රූපවාහිනි, ගුවන් විදුලිය, පුවත්පත යන බහු මාධ්‍ය ප‍්‍රකාශකයෙක් බවට පත්වෙලා. මේ දෙස අසුභවාදී ලෙස බලනවාට වඩා ඌණතාවයන්, ගැටලූ, සීමාවන් ආක‍්‍රමණය කරමින් වඩා ඵලදායි මාධ්‍ය සමාජයක් වෙනුවෙන් සංවර්ධනය කිරීම යහපත් ලෙසයි මම දකින්නේ.

රටේ මාධ්‍ය භූ දර්ශනය එනම් රූපවාහිනිය, ගුවන්විදුලිය සහ අන්තර්ජාලය පිළිබඳ කෙටි විස්තරයක් කළ හැකිද?

ලංකාවේ ජනමාධ්‍ය සහ අන්තර්ජාලය පිළිබඳ බැලූ බැල්මට පෙනෙන්නේ ඉතා වේගවත් ප‍්‍රමාණික වර්ධනයක් . විශේෂයෙන්ම, අවුරුදු 15ක් ඇතුලත රූපවාහිනී නාලිකා 20 කට ආසන්න ප‍්‍රමාණයක්, ගුවන් විදුලි නාලිකා 50 කට ආසන්න ප‍්‍රමාණයක්, අන්තර්ජාල භාවිතය ප‍්‍රාමාණිකව සෙසු සංවර්ධනය වන රටවල් හා පා‍්‍රමාණිකව ව්‍යාප්ත වන ආකාරය දැකගත හැකිය.

ජනමාධ්‍ය ප‍්‍රාමාණිකව වැඩුනත් එමගින්, ගුණාත්මකව ඵලදායි ලෙස තොරතුරු , දැනුම, විනෝදාස්වාදය ඵලදායි ලෙස ව්‍යාප්ත වනවාද කියන එක යම් ගැටලූවක්. කෙතරම් මාධ්‍ය ප‍්‍රමාණයක් වැඩුනත් එහි සමස්ත ප‍්‍රතිඵල ප‍්‍රතිලාභ වර්ධනය වනවාද කියන එක ගැටලූ සහගතයි. සමාජයේ සාමකාමී බව බිඳ වැටීම ජාතිවාදය ව්‍යාප්තවීම එමගින් නොසන්සුන් බව පැතිරයාම, සමාජයේ අපරාධ සහ අපචාර ව්‍යාප්ත වීම රටේ ඕපාදුප හා කටකතා පැතිර යාම ඉතා පුලූල් ආකාරයෙන් ව්‍යාප්ත වන අයුරු දක්නට පුලූවන්. මෙම ප‍්‍රාමාණික වර්ධනය සමඟ සංස්කෘතික සමාජ ජීවිතයේ බුද්ධිමතුන් අතර ඇත්තේ නොසන්සුන්තාවයක්.

සරල වින්දනය, රසවින්දනයට කරන බලපෑම සමාජයේ සාරධර්ම වලට ඇති කරන බලපෑම ඔවුන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා. මාධ්‍ය ප‍්‍රාමාණිකව වර්ධනය වීම සමඟ වාණිජමය තරඟකාරීත්වයක් ඇතිවී තිබෙනවා. එය කොතරම් පහළ මට්ටමට වැටී තිබෙනවාද කිවුවොත්, තමන්ගේ නාලිකාව ඇහුවොත් සල්ලි දෙනවා, රත්තරන් දෙනවා , කෑම මලූ දෙනවා කියලා කියන තරමට මිනිසුන්ගේ අඩුපාඩුකම්, ඕනෑ එපාකම් අමතලා, නාලිකා ජනප‍්‍රිය කරගන්න තරම් පහත වැටී තිබෙනවා. ප‍්‍රාමාණික වර්ධනය ගුණාත්මක වර්ධයක් බවට පත්කර ගැනීම සඳහා මාධ්‍ය කරුවන් , මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය පේ‍්‍රක්‍ෂකයින්, ග‍්‍රාහකයින් සියල්ල එකට කටයුතු කළ යුතුයැයි මම හිතන්නේ.

නාගරික ප‍්‍රදේශවල වඩාත් ජනප‍්‍රිය කුමක්ද? ඒ ඇයි? ග‍්‍රාමීය ප‍්‍රදේශවල ?

නාගරික ප‍්‍රදේශවල විතරක් නොවෙයි ගම්බද ප‍්‍රදේශවලත් රටේ ජනප‍්‍රිය ජනමාධ්‍ය රූපවාහිනියයි. ඊළඟට ගුවන්විදුලියයි. පුවත්පතේ තැන තුන්වන ස්ථානයට පත්වී තිබෙනවා. කොහොම නමුත් නාගරික ප‍්‍රදේශවල මිනිසුන්ගේ කාලයේ සහ අවකාශයේ සීමාව තරගකාරීත්වය, හේතුකොටගෙන ඔවුන් පුවත්පත් වලින් ඈත්වෙමිනුයි ඉන්නේ. ගුවන් විදුලිය අපේ සමීක්‍ෂණ වලින් පෙනෙන හැටියට නාගරික ප‍්‍රදේශවල බහුලව අසන්නේ යාන වාහන වලින්. රූපවාහිනිය ව්‍යාප්ත වීම හා එහි විශේෂ ප‍්‍රවණතාවයන් මෑත කාලීන අධ්‍යයන වලින් පෙනෙනවා. පේ‍්‍රක්‍ෂකයෝ අලූත් දේවල් දකින්න, අලූත් අත්දැකීම් වලට ගොදුරු වීමට දක්වන්නේ විශේෂ උනන්දුවක්. හොඳම උදාහරණය මෑත කාලීන ජාතික රූපවාහිනියේ ජනප‍්‍රිය වූ කොරියානු හඩ කැවූ ටෙලි නාට්‍යය. මෙම ජනප‍්‍රියත්වය පිටුපස ඇති ගැඹුරු සමාජ සන්නිවේදන විද්‍යාත්මක කරුණු වටහා ගැනීම අද අප කළ යුතුයි.

කෝටි දෙකකට ආසන්න ජනගහනයටකට දරා ගන්න බැරි තරම් රූපවාහිනී නාලිකා එමටයි. ඊලඟ ප‍්‍රවණතාවය තමයි බාල, සුලබ, සරල, වැඩසටහන් වලින් එම නාලිකා පිරියාම. පර්යේෂණ කල අත් හදා බැලිම් හා ගවේෂණ වලින් යුත් වැඩසටහන් නොමැති නම් හොඳම උදාහරණය රටේ ජනප‍්‍රිය කොරියානු නාට්‍ය එරට දීර්ඝ පර්යේෂණයක හා විවිධ අත්හදා බැලීම්, ආකෘති, අන්තර්ගතයන් විමසමින් කල ටෙලි නාට්‍යයක්. ඒ එරට පමණක් නොව ඒ නිසාම ලෝකය පුරාත් ජනප‍්‍රිය වුණා. අධි ප‍්‍රාමාණීකව රූපවාහිනි නාලිකා වර්ධනය කරගත්තත් එවැනි ගැඹුරු ප‍්‍රවේශයකට නොයෑම නිසා එහි සමාජමය බලපෑම විකෘති වන ආකාරය දකින්න පුළුවන්. අපේ රටේ ගම හා නගරය අතර පරතරය ඉතා වේගයෙන් නැති වෙමින් පවතිනවා. විශේෂයෙන් යුද්ධයෙන් පසු රට පුරා ප‍්‍රවාහනය හා මහාමාර්ග මාධ්‍ය භාවිතය ව්‍යාප්ත වෙලා. මේ නිසා මම නම් නගරය හා ගම අතර මධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ලොකු වෙනසක් දකින්නේ නැහැ. ගම්වල පවා සාම්ප‍්‍රදායික මාධ්‍ය, ජනමත නායකයින් වේගයෙන් වෙනස් වෙමින් තියෙන්නේ.

ඔබ ජංගම දුරකථන ප‍්‍රජාතාන්ත‍්‍රවාදි සංනිවේදන මෙවලමක් ලෙස දකින්නේ කෙසේද? කරුණාකර විස්තර කරන්න.

ඔව්. ජංගම සුරකථනය ව්‍යාප්ත වීම මම හිතනවා අන්තර් පුද්ගල සන්නිවේදනයේ පමණක් නොව සෙසු සන්නිවේදන ක්‍ෂේත‍්‍ර තුලත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදය ව්‍යාප්ත වීමක් හොදින් විමසා බලන්න. 70 දශකයේ තෙක්ම වාගේ දුරකථනයක් අයිති කරගැනීම ගමේ, නගරයේ වරප‍්‍රසාදයක් හිමි කර ගැනිමක් නොවේද කියා.

දුරකථනයක් සවිකරගැනීම දුෂ්කර වෙහෙසකර වරප‍්‍රසාදයක් හිමිකර ගැනිමක්. අද ස්වයං රැකියා කරන, කුලි ශ‍්‍රමිකයෙක් පවා ජංගම දුරකථනයකින් සම්බන්ධ කරගන්න පුළුවන්. තොරතුරු බෙදීම අතින් ප‍්‍රභූන්ට හිමි වරප‍්‍රසාදය සාමාන්‍ය මිනිසුන් අතරට ඇවිල්ලා මෙය වඩාත් ඵලදායි කරගැනිම අවශ්‍යයි. ඈත ගම්වල ගොවීන්ට නගරයේ මිල දැනගෙන තමන්ගේ අස්වැන්න නෙලන්න පුළුවන් වෙන්න ඕන.

වෙළඳපලේ අවශ්‍යතාවය මත සිය නිශ්පාදන කටයුතු, සේවා කටයුතු කළමණාකරණය කරගන්න පුළුවන්. එය ඉතා හොද දෙයක් මං හිතන්නේ මාධ්‍ය විශේෂයෙන්, ජංගම දුරකථන ලාභ සහ සරල වීම තව තව ඵලදායි අර්ථදායි දේවල් දක්වා යොමු කිරිම අවශ්‍යයි.

ළමුන්ට ජංගම දුරකථන දීම පිළිබඳ ඇති විවාද යහපත්, ඵලදායි, ගුණාත්මක දෙයක් බවට පත්කර ගැනිමට මාධ්‍ය විශේෂඥයින්, ජංගම දුරකථන සමාගම්, ප‍්‍රතිපත්ති තීරකයින් සොයාබැලිම වැදගත්. ජාත්‍යන්තරව මේ සඳහා ඇති කරගෙන තිබෙන යම් යම් අත්දැකීම් හා නිගමනයන් සොයා බලන්න පුළුවන්. කොහොම නමුත් ජංගම දුරකථනය අප සමාජයේ තොරතුරු බෙදාහදා ගැනිමේ අසමතුලිතතාවයන් නැති කිරිම යහපත් දෙයක් විදිහටයි මම දකින්නේ. එය තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි.

මාධ්‍යවල අද පවතින තත්වය සහ ජනමාධ්‍යවේදීන්ගේ ගුණාත්මක භාවය ඔබ දකින්නේ කෙසේද?

මාධ්‍ය අද ප‍්‍රමාණාත්මකව ව්‍යාප්ත වෙලා. උදාහරණයක් වශයෙන් සෑම උදෑසනකම සිංහල මාධ්‍යයෙන් පත්තර 12ක් පමණ ප‍්‍රකාශයට පත්වෙනවා. ඉංග‍්‍රිසි මාධ්‍යයේ පත්තර 05ක් පමණ ප‍්‍රකාශයට පත් වේ. දෙමළ මාධ්‍යයෙනුත් ඒ හා සමාන ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් වේ. මං කලින් කිව්වා වාගේ ගුවන්විදුලි නාලිකා 50කට අධිකයි. මෑත කාලීනව පැමිණි රූපවාහිනි නාලිකා 10 කට අසන්නයි. එසේ නමුත් අපේ මාධ්‍ය වල අන්තර්ගතය හා ආකෘතිය මාධ්‍යවේදීන්ගේ තත්ත්වය ගැන යහපත් ලෙස හිතන්නට පුළුවන්ද? යුද්ධය, සමාජ වියවුල්, අපේ රටේ මාධ්‍ය වල අන්තර්ගතය බෙහෙවින් වියවුල් කරලා. තරුණ මාධ්‍යවේදීන් අත්හදා බැලීම් අභියෝග නොකර සිය වෘත්තියෙහි යෙදෙන්නට පෙළඹීලා තිබෙනවා. පසුගිය කාලයේ එය අවදානම් රැකියාවක් වු නිසා ලංකාවේ මාධ්‍ය පිළිබඳ කතා කරන කොට 70 දශකයේ ඉදන් මේ වෙනකන් මරාදමන ලද, අතුරුදහන් වු මාධ්‍යවේදීන් සියල්ලගේම සිද්ධි අවස්ථා අධ්‍යයනය කළොත් ඒ කිසිම ඝාතනයකට, අතුරුදහන්වීමකට තවමත් කිසිම චුදිතයෙක් සොයා ගන්න බැරි වී තිබෙනවා.

සෑම යුද්ධයකදීම සිවිල් තත්ත්වයන් බිඳවැටෙන තැනකම, අහිමි වන පලමුවන දේ ‘සත්‍යය’ කියලා කියමනක් තිබෙනවා. අපේ රටේ සත්‍ය ගවේශණය කරලා, ඒ නිසාම ගොදුරු බවට පත් වු මාධ්‍යකරුවන්ගේ ඉරණම සෙසු මාධ්‍යවේදීන් උදාසීන බවට පත් කරලා තියෙනවා.

මම හිතනවා මෙරට මාධ්‍යවේදීන්ගේ තත්ත්වය ඵලදායි කරලීමට මාධ්‍යවේදීන් පිළිබඳ පිළිගැනීම සමාජයේ ශක්තිමත් කරන්න ඕන. ඒත් ඒ දේ ආණ්ඩුවෙන් විතරක් කරන්න පුළුවන් ලෙස නෙවෙයි. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින පක්‍ෂ බලයට පත් වුණාම මාධ්‍යවේදීන් පාලනය කරනවා. ඔවුන් යටතේ ඔවුන් අතුරුදහන් වෙනවා.මරා දමනවා. ඊට කලින් මාධ්‍යවේදීන් අතුරුදහන් කර මරා දමද්දි, මොනවාහරි කියලා ඒක අමතක කරන දේශපාලඥයෝ ඒ වටයෙදි විරුද්ධ පක්‍ෂයේ ඉදගෙන මාධ්‍යවේදීන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා. මෙහෙම සන්දර්භයන් වෙනුවෙන් තමයි අපි මාධ්‍යයේ ගුණාත්මකභාවය ගැන කථා කරනවා.

ලංකාවේ වැඩියෙන්ම ප‍්‍රාදේශිය පත්තර පළමුවෙන් යැවෙන අර්ධද්වීපයෙහි පුවත්පත් පිළිබඳ ඉහළ පිලිගැනිමක් තිබුණු ඒ ප‍්‍රදේශයේ යුද්ධ සමයේදී පළමුවෙන්ම කැරලිකරුවන් වනසා දැම්මේ පත්තර කන්තෝරු. මේ විපාකය සමඟ අද යාපන අර්ධද්වීපයේ නැවත ආරම්භ වන කිසිම පත්තර කන්තෝරුවක තරුණ මාධ්‍යවේදීන් නැහැ. වැඩකරන සියල්ල වැඩිහිටි විශ‍්‍රාම වයසේ ඉන්න මාධ්‍යවේදීන්. කොහොමද ඉතින්, මේ වෘත්තිය අලූත් පරම්පරාව තුලට ගෙනි යන්නේ. මාධ්‍ය පිළිබඳ පර්යේෂණ, මාධ්‍ය පිළිබඳ අධ්‍යයන, මාධ්‍ය පිළිබඳ සමුළු අපේ සමාජයේ විරලයි. ඉඳහිට පැවැත්වෙන සිනමා, නාට්‍ය, සම්මාන උළෙලවල් හැරෙන්නට සංවිධානාත්මක මාධ්‍ය අගය කරන ඔවුන්ව සමාලෝචනය කරන වැඩසටහන් නැහැ. මෙය ජනමාධ්‍යයේ ගුණාත්මක බව සීමා කරනවා කියලයි මං හිතන්නේ.

නොබෝදා පැවති විශ්වවිද්‍යාල වැඩවර්ජනය ගැන ඔබ දරන අදහස් මොනවාද?

ඔව්. විශ්වවිද්‍යාලවල පැවති පසුගිය ආචාර්වරුන්ගේ වෘත්තීය ක‍්‍රීයාමාර්ගය තුළ මට මගේම අදහස් හා නිගමන තිබුණා. මම ඒ වෙලාවේ කිව්වේ, වෘත්තීය ක‍්‍රියා මාර්ග රටේ තරුණ බුද්ධිමතුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන ලෙස පවත්වාගෙන යා යුතුයි කියායි. මාස තුනකට වැඩිය ඇදී ගිය ඒ වර්ජනයේ ප‍්‍රතිඵල තවමත් විශ්වවිද්‍යාලවලින් පිට නොවී වයසට යන දරුවන්ගේ ජීවිතවලින් ගැනීම මම අනුමත කලේ නැහැ. මේ රටේ සෙසු වැටුප් ව්‍යුහයන් හා සැසැදීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉතා පහළ මට්ටමක තිබෙනවා යැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ බෝහෝ රටවල ආචාර්යයවරුන් වැටුප් හා සසඳමින් කතා කරන අපි ලෝකයේ ඒ සෑම රටකම අධ්‍යාපනය මුදලට විකුණනවා, ඒ විකුණන මිල මට්ටම් අනුව වැටුප් ව්‍යුහය වැඩි තියලා කවුරුවත් කියන්නෑ. සොයා බලන්න අසල්වැසි ඉන්දියාව, බටහිර සෑම රටකම තත්ත්වය එහෙමයි.

වැඩ වර්ජන කරන කොට යම් යම් වෘත්තීන් වල තියෙන ආචාර්යධර්ම සලකා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු වැඩ වර්ජනයක් කරන කොට දැඩි සත්කාර ඒකක, හදිසි ශෛල්‍යකර්ම, මාතෘ සායන, ළමා රෝහල් අඩපන වෙන්න දෙයන් නැහැ. ඒත් අපි අවසාන වර්ෂයේ මාසයකින්, සති කිහිපයකින්, විශ්වවිද්‍යාල උපාධිය හමාර කිරීමට සිටින අයගේත් විභාග අධ්‍යයන කටයුතු, නවත්වා දැම්මා ඒ තුළ තිබූ සැඟවුණු සමාජ, දේශපාලන, යටි අරමුණු සමහර අයගේ ප‍්‍රකාශ වලින් ලිපිවලින් හෙළිදරව් වුණා. කෙසේ නමුත් මහජනතාව, ප‍්‍රජාව, ඊට දක්වපු ප‍්‍රතිචාර අපි දැන් හොඳින් දන්නවා.

ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය ගැන ඔබ දරන අදහස් මොනවාද?

පෞද්ගලීකරණය ගැන මම දරන අදහස් තරමක් වෙනස්. පෞද්ගලීකරණය සෑම ක්‍ෂෙත‍්‍රයකම විසිරි යද්දී අධ්‍යාපන පුද්ගලීකරණය මේ රටේ අධ්‍යාපනයේ ඇති අසමානකම් වැඩි කිරීමක් ලෙසයි මම දකින්නේ. අනිත් අතින් කොයි දේශපාලනඥයෙක් මොනවා කිවුවත් මෙරටට ඇවිල්ලා විනිමය වියදම් කරලා ඉගෙන ගන්න එන්නේ මොනවාද? දැනටමත් මෙරට විශ්වවිද්‍යාලවලට මිල ගෙවා ඉගෙන ගන්න එන්නේ , බුද්ධාගම, බෞද්ධ සංස්කෘතිය, පාලි සංස්කෘත, වැනි අපටම ආවේණික විශිෂ්ඨ ප‍්‍රාචීන විෂයන්. කවුරුහරි හිතනවා නම් මේ රටට ඇවිල්ලා අපේ වෙනත් විෂයන් ඉගෙන ගන්න එයි කියලා, ඒක මිත්‍යාවක්. හැබැයි අපි අමාරුවෙන් සොයා ගන්න විනිමය වියදම් කරලා අධ්‍යාපනය සඳහා රට යන තරුණ තරුණියන්ගේ ප‍්‍රශ්නය විසදන්න අවශ්‍යයි. මම හිතන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන සාර්ථක වුණොත් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව කිහිපයක් හැර අනිත් ඒවා සාර්ථක වෙයිද කියලා හිතන්න අමාරුයි.

මම හිතනවා මේ රටේ රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළම සුදුසුකම් ඇති , මිල මුදල් ඇති පිටරට යන දරුවන් මෙරටදී ඉගැන්වීම පිළිබඳ කිසියම් ක‍්‍රමවේදයක් සොයා බැලීම වැදගත් කියලා. එහෙම නැතුව ඉවක් බවක් නැතුව පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා ව්‍යාපාර ආරම්භ කිරීම මේකට උත්තරයක් නොවේ. විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීම පිළිබඳ සංවාදය ජාතියේ දරුවන් ඉච්ඡු භංගත්වයට සහ කළකිරීමට පත් නොකරන ව්‍යාපාරයක් ලෙස අධ්‍යයනය කිරිම කාලීන අවශ්‍යතාවයකි.

වසර 10 කින් මෙරට සන්නිවේදන ක්‍ෂෙත‍්‍රය ඔබ දකින්නේ කෙසේද?

තව අවුරුදු 10කින් අපේ සන්නිවේදන ක්‍ෂේත‍්‍රය තව ධ‍්‍රැවීකරණ වේගයෙන් වර්ධනය වේවි. මට තාමත් තේරුම් ගන්න අමාරුයි ලෝකයේ පුවත්පත් වැසී යද්දී පසුගිය වසරේ ලංකාවේ අලූතින් දිනපතා පත්තර 05ක් ආරම්භ වුණා. ඒ කෙසේ වුණත් පරිඝණකය අන්තර්ජාලය, ව්‍යාප්ත වීමේ තරමට මුද්‍රිත මාධ්‍යය හැකිලේවි. අපේ නූතන ආගම බවට නව මාධ්‍ය පත්වීමේ ප‍්‍රතිඵලය අප සිතන පතන , විනෝදවෙන, කනබොන, අදින පළදින, උපභෝග පරිභෝග ජීවීතය මුලූමනින්ම වෙනස් කරාවි. සම්ප‍්‍රදායික සමාජයක් වුණත් දිනපතා දික්කසාද වන පවුල් ප‍්‍රමාණය 350 කට වැඩවෙමින් පවතිනවා. පවුල් සම්බන්ධතා සරල සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පවතිනවා. මානව සම්බන්ධතා ජනමාධ්‍ය සමඟ ලිහිල් වෙමින් පවතිනවා.

සම්ප‍්‍රදායික, ආගමික, තැන පවා ජනමාධ්‍ය විසින් උදුරාගෙන. මේ තත්ත්වය නව ධ‍්‍රැවීකරණ වේගයෙන් ව්‍යාප්ත වේවි. මිනිසා අද දේශපාලන රැස්වීම් පවත්වන පිට්ටනි වලට රැස්වෙන්නේ නැහැ. ඒ වෙනුවට රාත‍්‍රී නිදිමරාගෙන දේශපාලන වාද විවාද අහනවා. මෙම තත්ත්වය තව ඉදිරියට යාවී. අපි කියවන සමාජයකට, බලන සමාජයකට, පාරිභෝගික සමාජයට මාරු වේවි. හැබැයි අපි මේ සියල්ල අසුභවාදී ලෙස බැලීම වෙනුවයට සුභවාදී ලෙස බැලීමට අවශ්‍යයි. සමුප‍්‍රදායික කලාව, නාට්‍ය,ගීත, පතපොත, අලූත් මෙවලම් සමඟ තුළනය වෙමින් පෝෂණය කරමින් සංවර්ධනය කිරීම නිර්මාණකරුවන්ගේ පුවත්පත්, තීරකයන්ගේ ප‍්‍රජාවගේ වගකීමක්.

 

Latest Comments

නවතම පුවත්