Oct 15, 2021

තම දික්කසාදය ගැන ඇඩෙල් ගීයෙන් කියයි (වීඩියෝ)

දැවැන්ත සංගීත තරුවක් වන ඇඩෙල් විසින් සය වසරකට පසුව ගීතයක් එළිදක්වා තිබේ.

"ඊසි ඔන් මී" (Easy On Me) ගීතය බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේදී එළිදැක්වුණු අතර, යූටියුබ් ඔස්සේ සජීවී ලෙස එළිදැක්වුනු අවස්ථාවට ලොවපුරා රසික රසිකාවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් එක්වුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ගීතය, තවත් සති 5කින් නිකුත් වීමට නියමිත ඇගේ 30 නම් ගීත ඇල්බමයේ කොටසකි.

වසර 2019දී තම විවාහයෙන් ඉවත්ව යාමට ගත් සිය තීරණය පිළිබඳව මෙම ගීතය ඔස්සේ කරුණු පහදන ඇඩෙල්, එය තේරුම් ගන්නා ලෙස සිය හිටපු සැමියාගන් හා පුතණුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙතෙක් නිකුත් කළ ඇඩෙල් ගේ ගීත ඇල්බම් සියල්ලම එම ඇල්බම නිකුත් කරන විට ඇය සිටි වයස අනුව නම් කර තිබේ.

මීට කලින් නිකුත් කළ 19, 21 හා 25 යන ගීත ඇල්බම් ත්‍රිත්වයම අතිසාර්ථක විය.

ඇඩෙල් විසින් ඇගේ දීර්ඝ කාලීන් සහකරු වන සයිමන් කොනෙකි හා විවාහ වී ඔහුව අත්හැර යන විට ඇගේ වයස 30ක් විය.

සිය 9 හැවිරිදි පුතණුවන් හට තමාගේ හා සයිමන්ගේ දික්කසාදය පිළිබඳව තේරුම් කිරීම සඳහා ඉවහල්වීමට 30 ඇල්බමය පටිගත කළ බව ඇඩෙල් පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top