May 16, 2022

බ්‍රිට්නි ස්පියර්ස් නිතැත් ගබ්සාවකට ලක්වෙයි

බ්‍රිට්නි ස්පියර්ස් තමා ගැබ්ගත්බව නිවේදනය කර මසකට පසු, තමා නිතැත් ගබ්සාවකට ලක්වූ බව ප්‍රකාශ කර තිබේ.

ගායිකාව ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා පැවසුවේ ඇයට සහ සහකරු සෑම් ඈෂ්ගරිට ඔවුන්ගේ "ආශ්චර්යමත් දරුවා අහිමි වූ" බව යි.

මෙය සිදුවූයේ, ඇගේ පියාට ඇගේ ප්‍රජනක සෞඛ්‍යය ද ඇතුළුව ජීවිතයේ බොහෝ අංශ පාලනය කළ හැකි නීතිමය විධිවිධානයකින් ගැලවී මාස කිහිපයක් ගෙවෙන විට ය.

නව යොවුන්වියේ පුතුන් දෙදෙනෙකු සිටින 40-හැවිරිදි ස්පියර්ස් මීට පෙර කියා සිටියේ, පුද්ගලික පුහුණුකරුවකු ලෙස රැකියාවේ නියුතු ඈෂ්ගරි සමග පවුලක් ගොඩනැගීමට ඇයට අවශ්‍ය බව යි.

"ගර්භණී කාලෙ මුලදිම අපේ ආශ්චර්යමත් දරුවා අපට අහිමිවූ බව කණගාටුවෙන් කියා සිටිනවා," ඇය ඉකුත් සෙනසුරාදා සටහන් කළා ය.

ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "මෙය ඕනෑම දෙමාපියෙකුට දරාගන්න බැරි කාලයක්"

"අපිට මේක [පිළිසිඳ ගැනීම] ගැන මෙච්චර කලින් නිවේදනය නොකර ඉන්න තිබුණා. ඒත් ඒ ශුභාරංචිය බෙදාගන්න තරම් අපි ගොඩක් උද්‍යෝගයෙන් හිටියේ."

"අපෙ ශක්තිය තමයි එකිනෙකා කෙරෙහි තියෙන ආදරය. අපි අපේ ලස්සන පවුල වැඩි කරගන්න තව උත්සාහ කරනවා"

2008 දී ස්පියර්ස් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දුන් අතර, අනතුරුව ඇගේ පියා ඇය තමාගේ නීත්‍යානුකූල භාරකාරත්වයේ පිහිටුවනු ලැබීය.

එම භාරකාරත්වයට එරෙහිව අදහස් දක්වමින් පසුගිය වසරේ අධිකරණයේ දී ඈ විනිසුරුවරයෙකුට පැවසුවේ, එමඟින් තමාගේ විවාහවීමේ හෝ තම උපත්පාලන උපකරණය ඉවත් කිරීමේ ඉඩකඩ ද අහුරන බව යි.

තමා පෙර ප්‍රසූතියේ දී ඇය ප්‍රසව විෂාදය (ගර්භනී හෝ ප්‍රසූතිය සිදුකළ කාන්තාවන්ට ඇතිවන විෂාද තත්ත්වයක්) අත්විඳි නිසා මෙය අපහසු කටයුත්තක් වනු ඇති බව අප්‍රේල් මාසයේ දී දරුවා පිළිසිඳ ගැනීම නිවේදනය කරමින් ඇය පැවසුවා ය.

කෙවින් ෆෙඩර්ලයින් සමග විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින ඇය පැවසුවේ, එය "අතිශයින්ම බිහිසුණු" බව යි. අතීතයේ දී පවා ඇය ඒ ගැන කතාබහ කර ඇත්තේ අල්පව ය.

(බීබීසී සිංහල)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top