Jul 06, 2021

රට යන අයට ඩොලර් නිකුත් කිරීමත් සීමා කරයි!

වෙනත් රටක තාවකාලික නේවාසික වීසා යටතේ ශ්‍රී ලංකාව හැර යෑමට අදහස් කරන ඕනෑම පුද්ගලයකු වෙනුවෙන් විදේශ විනිමය නිකුත් කිරීම ඇමරිකානු ඩොලර් දසදහසක් හෝ වෙනත් ඕනෑම විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා සීමා කිරීමට රජය තීරණය කර ඇත.


රට තුළ පවතින විදේශ මුදල් සංචිත ආරක්‍ෂා කර ගැනීම සඳහා විදේශ විනිමය පනත යටතේ මෙම තහනම පනවා ඇති බව පැවසේ.

එසේම මේ යටතේ ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික සහ වෙනත් රටක, අනාගත දිනකදී එම රටේ නිත්‍ය වාසික තත්ත්වය හෝ පුරවැසියභාවය ලබා ගැනීමට පුද්ගලයකුට හැකියාව ලබා දෙන්නා වූ වීසා වර්ගයකට අයත්වන තාවකාලික නේවාසික වීසා ලබාගෙන ඇති ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් කරනු ලබන ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම ඇමරිකානු ඩොලර් 20,000 හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලකින් එයට සමාන ප්‍රමාණයක උපරිමයක් දක්වා ද සීමාකර ඇත.

2021 ජුලි 02 වැනිදා සිට ආරම්භ වන මාස හයක කාල සීමාව සඳහා මෙම සීමා කිරීම් ක්‍රියාත්මක වන අතර 2021 ජුලි 02 දිනැති අංක 2234/49 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම නියමයන් පනවා ඇත. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top