Jul 06, 2021

ඇමතිලා කැබිනට් එකේදී මෙන්ඩිස් කන්ඩෙම් කරයි; බලපත්‍රයත් ඉවරයි Featured

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිවරයාගේ උපදෙස් මත යළි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

බදු නොගෙවීමේ හේතුව මත මීට කලකට පෙර අදාළ බලපත්‍රය අහෝසි කර තිබිණි.

මීට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, දැඩි කොන්දේසිවලට යටත්ව එම සමාගමට මත්පැන් නිෂ්පාදනයට අවසර දී තිබිණි.

2018 වසරේදී මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කරනු ලැබුවේ, රජය ගෙවියයුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.

ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාද ගාස්තු ද සහිතව යම් කාල රාමුවකට යටත්ව ගෙවන බවට ඇති කරගත් ගිවිසුමකට අනුව මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා යළි අවසර ලබා දී තිබිණි.

මෙන්ඩිස් සමාගමට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර 03ක් ලබා දී ඇත.

ඒ, මත්පැන් නිෂ්පාදනාගාර 02කට සහ මත්පැන් ස්කාගාරයක් සඳහායි.

මොරගල්ල සහ වැලිසර ප්‍රදේශවල එම ආයතන පිහිටා තිබේ.

කැබිනට් මණ්ඩලයේදී ඇමැතිවරුන් හය දෙනෙකුගේ දැඩි විරෝධය හමුවේ මේ බලපත්‍රය අහෝසි කිරීම සිදු කළ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇලෝසියස්ට එම බලපත්‍රය නැවත ලබාදීම පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම් චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරු දැක්වූ දැඩි විරෝධය හමුවේ මතු වූ උණුසුම මැද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top