Jul 13, 2021

නිව් ෆෝට්රෙස් කෙරවල පිටියේ 41%ක් අරන් යටින් දැම්ම ඩීල්එක -Exclusive Featured

කෙරවළපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40 ක් රජය සතු කොටස් මිලදී ගැනීමට මූලික ගිවිසුම් අත්සන් කර ඇති ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්රෙස් එනර්ජි ඉදිරි වසර පහක් සඳහා ලංකාවට ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. සැපයීමට රජය එකඟකරගෙන ඇතැයි වාර්තා වේ.

මේ අනුව ඉදිරි වසර 5ක තුළ ලංකාවට සැපයෙන ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. සපයන එකම ආයතනය වන්නේ නිව් ෆෝට්රෙස් එනර්ජිය.

එසේම ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. මිල තීරණය කිරීමේ බලය ද ඔවුන්ට පැවරෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

කොළඹ නගරයේ වෙරළින් පිටත ස්වභාවික ද්‍රව වායු හෙවත් එල්.එන්.ජී. සැපයීමේ පර්යන්තයක්, නල මාර්ගයක් හා ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් ඔවුන්ට වසර 5ක කාලයකට ලංකාවට එල්.එන්.ජී. සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන බව පැවසේ.

මේ අනුව ඉදිරියේදී ලංකාවට එල්.එන්.ජී. ලබා ගැනීමේදී ඉන්ධන ලබාගැනීමේදී මෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදු කර අවම මිල අනුව එල්.එන්.ජී. ලබා ගැනීමට හැකියාවක් නොවනු ඇතැයි එම ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

FSRU ටෙන්ඩරයට මොකද වෙන්නේ?

ලංකාවට වසර 5ක කාලයකට එල්.එන්.ජී. සැපයීමේ කොන්ත්‍රාත්තුව නිව් ෆෝට්රෙස් එනර්ජි වෙත රහසේ ලබාදී ඇත්තේ එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු පාවෙන ගබඩා පර්යන්තයක් Floating Storage Regasification Unit (FSRU) ඉදිකිරීම සඳහා ටෙන්ඩරයක් කැඳවා තිබියදීය.

එම ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය ජුනි 18 වැනිදායින් අවසන්ව තිබේ.

කෙසේවුවද, ඒ සඳහා  ලංකාවට වසර 5ක කාලයකට එල්.එන්.ජී. සැපයීමේ කොන්ත්‍රාත්තුවට නිව් ෆෝට්රෙස් එනර්ජි මිල ගණන් ඉදිරිපත් කර නොමැති අතර ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ චයිනා හාබර් සමාගම හා එල්.ටී.එල්. හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් පමණක් බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, කැලණිතිස්ස විදුලි බලාගාරය ද  එල්.එන්.ජී. වලින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමින් තිබියදී අදාළ සමාගමට ලංකාවට එල්.එන්.ජී. සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර 5කට ලබාදීම ප්‍රශ්නකාරී වී තිබේ. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top