Oct 16, 2021

සීල් කරපු සීනිවල පාඩු මකා ගන්න සීනි මුදලාලිලාට චාන්ස් එකක්!

සීනි ආනයන බද්ධ තවදුරටත් සත 25ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි.
 
ඒ සඳහා වන ගැසට් නිවේදනය මේවන විට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටී.
 
සීනි සඳහා පනවා තිබූ බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කෙරුණේ 2020 ඔක්තෝබර් 20 වැනිදාය.
 
මුදල් අමාත්‍යංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000කි. 
 
වසරකට නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 6,00,000ක් පමණය. 
 
ඒවා ආනයනය සඳහා පවතින දළ මිල ගණන් අනුව රුපියල් කෝටි 3800ක් (බිලියන 38ක්) පමණ වසරකට වැය කළ යුතු බව මුදල් අමාත්‍යංශය කියයි. 
 
ශ්‍රී ලංකාවේ දැනට නිපදවන්නේ රටේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට 5ක් පමණය. හිඟු‍රාන, සෙවණගල හා පැල්වත්ත කම්හල්වල මෙම නිෂ්පාදන සිදු කෙරේ. අතීතයේ ඉතාම සශ්‍රීකව පවත්වාගෙන ගිය කන්තලේ සීනි කම්හල් ව්‍යාපාරය වසා දමා දැනට වසර ගණනාවක් ගතවී ඇත. 
 
කන්තලේ සීනි කම්හල ද තිබුණේ නම් අපේ සීනි නිෂ්පාදනය තවත් නංවන්නට ඉඩ තිබුණි.

රටේ අවශ්‍යතාවට සීනි ප්‍රමාණවත් නොවූ නිසා ඒවා ආනයනය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. 
 
වසරකට ආනයනය කරන සීනිවලින් සියයට 40ක්ම මිලදී ගන්නේ රස කැවිලි නිෂ්පාදකයෝය. 
 
ජනතාවට පෞද්ගලිකව පරිභෝජනය කරන සීනි ප්‍රමාණය ආනයනික තොගයෙන් සියයට 60කි. 
 
කෙසේ හෝ පසුගිය කාලයේ රුපියල් 85-120ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වූ සීනි කිලෝව රු. 250ක් පමණ වන තෙක් එකවර ඉහළ දැමීම පසුපස සීනි ආනයන මාෆියාව සිටින බව හෙළිදරව් වූයේ පසුගිය දිනවල මේ අය සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 10,000ක් පමණ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩා සීල් තැබීමත් සමඟය.
 
සබැඳි පුවත්
 
 
 
 
 
 
 


 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top