Oct 17, 2021

ලාෆ් නිසා ETF හා EPF ට පාඩුයි; තෙල් තියෙන්නේ මාස 2කටයි Featured

ලාෆ්ස් ගෑස් සමාගම දැවැන්ත ලෙස පාඩු ලැබීමත් සමග එහි ආයෝජනය කර ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලද දැවැන්ත අලාභයක් අත්විදිමින් සිටින බව වාර්තා වේ.

සේවක අර්ථසාධක අරමුදලට ලාෆ්ස් ගෑස් සමාගමේ 17.28%ක කොටස් හිමිකාරත්වයක් පවතින අතර සමාගම් අභ්‍යන්තරයේ ජන්දය භාවිත කිරීමේ හිමිකමද ඇත.

සේවක භාරකාර අරමුදලට ඇත්තේ ලාෆ්ස් සමාගමේ 0.06%ක කොටස් හිමිකමකි.

කෙසේවෙතත් පසුගිය කාලය පුරා ලාෆ්ස් සමාගම ලැබූ දැවැන්ත පාඩුව හේතුවෙන් මෙම ආයතන දෙකටද අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.

ලංකා බැංකුව හා මහජන බැංකුව කඩා වැටීමේ අවදානමක

මේ අතර, ඉන්ධන ඇත්තේ ලබන ජනවාරි මාසය තෙක් පමණක් බවත්, වහාම මිල වැඩි කිරීමක් හෝ ඉන්ධන සදහා මුදල් අමාත්‍යංශයෙන් සහනයක් ලබා නොදුනහොත් සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.

ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිට තෙල් සංස්ථාව බිලියන 83ක පාඩුවක් දරමින් සිටින බවකි.

එමනිසා වහාම මීට විසදුමක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කියාසිටියේ තෙල් සංස්ථාව බංකොලොත් නොවී රැක වගකීමක් බවයි.

යම් ලෙසකින් තෙල් සංස්ථාව බංකොලොත් වුවහොත් ලංකා බැංකුව සහ මහජන බැංකුව ද කඩා වැටුණු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීය.

තෙල් සංස්ථාව විසින් දැනට ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් එම බැංකු දෙකට ගෙවීමට ඇති නිසා එකී අවදානම ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඉදිරි වසර සඳහා ඉන්ධන ගැනීමට ඕමාන ආණ්ඩුවෙන් ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ඉල්ලා ඇති බවත්, එය ලැබේවිද නොලැබේවිදැයි නොදන්නා බවත් ඔහු පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top