Oct 20, 2021

ෆේස්බුක් නම වෙනස් වෙයි?

ලොව ජනප්‍රියතම සමාජ ජාලයක් වන ෆේස්බුක් විසින් ලබන සතියේදී සිය නම වෙනස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
 
මේ බව වාර්තා කර ඇත්තේ ඇමෙරිකානු තාක්ෂණික පුවත් පළ කරන බ්ලොග් අඩවියක් වන 'ද වර්ජ්' විසිනි.
 
ෆේස්බුක් නිර්මාතෘ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ලබන 28දා පැවැත්වීමට නියමිත ෆේස්පුක් වාර්ෂික සමුළුවකදී මෙම නව නාමය එළිදැක්වීමට නියමිත බව වාර්තා වුවද, එම නව නාමය ඊට පෙර එළිදකිනු ඇතැයි එම බ්ලොග් අඩවිය විසින් වාර්තා කර තිබුණි.
 
කෙසේවෙතත්, සිය සමාගම කටකතා හා හුදෙක් ආරංචි සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වන බව ෆේස්බුක් සමාගම මේ සම්බන්ධයෙන් පවසා ඇති බව අල් ජසීරා පුවත් සේවය කියා සිටියි.
 
සිලිකොන් වැලී හි අතිවිශාල තාක්ෂණික සමාගම්, සිය සේවා පුළුල් කරන විටදී සිය සමාගම් නාමය වෙනස් කිරීම අලුත් දෙයක් නොවේ.
 
ගූගල් සමාගම විසින් වසර 2015දී ඇල්ෆබෙට් සමාගම පිහිටුවීම එවැනි අවස්ථාවකි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top