Jan 27, 2022

SLBC ඉඩම ඇක්සස්ලා ඉස්සරහට දාලා බහු ජාතික සමාගමක් බදු අරන්! 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත්ව තිබූ ජාඇල, ඒකල පිහිටි අක්කර 36ක (අක්කර 36යි රූඩ් 01 පර්චස් 27.6ක) ඉඩම  වසර 49ක බදු කාලයක් සඳහා ඇක්සස් ඉංජිනියරිං සමූහය වෙත ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ඉඩමේ වටිනාකම රුපියල් බිලියන 2.4ක් වන බව පැවසෙයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුදුසු ආයෝජකයෙකු සඳහා ඉදිරිපත් කිරීමේ එකඟතාව මත අදාළ ඉඩම පවරා ගෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඇක්සස් සමූහයට අයත් ඒකල පිහිටි ඇක්සස් ලොජිස්ටික්ස් පාර්ක් ඒකල (පෞද්) සමාගම වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

ඇක්සස් මෙය ලබාගෙන ඇත්තේ ලංකාවේ විශාලතම ගබඩා සංකීර්ණය ඉදිකරණ බව පවසමිනි.

මෙහිදී අදාළ ගබඩා සංකීර්ණය ඉදිකිරීම, මෙහෙයුම් සිදු කිරිම සහ ආපසු පැවරීම (BOT) යන එකඟතාව යටතේ එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී වෙත බදු දී තිබේ.

රජය පවසන ආකාරයට තරගකාරී ලංසු ක්‍රමවේදයක් යටතේ ඉදිරිපත් වූ ලංසු මිල ගණන් අනුව ඇක්සස් ඉංජිනියරිං සමූහයට එම ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම ලබා දීම සිදුව ඇත.

ඇක්සස් ඉංජිනියරිං සමූහයේ විධායක උප සභාපති ක්‍රිස්ටෝපර් ජොෂුවා මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 250ක් බවයි.
 
ලොව මුල් පෙළේ බහුජාතික සමාගමක් වෙත සිය අපනයන කටයුත්තක් සඳහා මෙම ගබඩා සංකීර්ණය කුලියට ලබාදීම වෙනුවෙන් මෙය ඉදිකෙරෙන බවද පැවසේ.
 
ඉදිරියේදී ඇක්සස් ඉංජිනියරිං සමූහය සහ අදාළ බහුජාතික සමාගම සමගින් මෙම ව්‍යාපෘතියට අදාළ එකඟතාව අත්සන් තැබෙනු ඇති බවත්, එතෙක් දැනට පවතින එකඟතාවට අනුව එම බහුජාතික සමාගම කවරක්ද යන්න හෙළිදරව් කළ නොහැකි බවත් ජොෂුවා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබිණි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top