Feb 03, 2022

"මයික්‍රෝ කාර් කරන වංචාවලට හසුවෙන්න එපා!" (වීඩියෝ)

"මයික්‍රෝ කාර් සමාගම විසින් සිදුකරනු ලබන වංචාවලට හසුවෙන්න එපා!" යැයි එහි මෝටර් රථයක් ලබා ගැනීමට ගිවිසුම්ගතව රුපියල් ලක්ෂ 15ක අත්තිකාරමක් ලබාදී සය මසක් තිස්සේ තමාට ගිවිසුම්ගත මෝටර් රථය ලබා නොදුන් බව කියමින් පාර්භෝගික අධිකාරියට පැමිණිලි කරන ලද මොහොමඩ් ඉජාස් මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.

ඒ මහතා සිය බිරිය වන ශෂිකා ධානියා ගෝමස් මහත්මිය වෙනුවෙන් මේ මොටර් රථය මිලදී ගැනීමට කටයුතු කර තිබිණි.

මීට අදාළ පැමිණිල්ල ඊයේ (02) පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දෙපාර්ශවය කැඳවා විභාග කර තිබූ අතර එහිදී මයික්‍රෝ කාර් සමාගම වෙනුවෙන් පැමිණි නියෝජිත ජේකොබ්ස් මහතා පවසා තිබුණේ පොල්ගහවෙල අංගනයේ තිබූ සිය සමාගමේ මෝටර් රථ 80ක් පමණ ගංවතුරකට හසුවී විනාශ වීම නිසා අදාළ මෝටර් රථය ලබාදීමට නොහැකි වී ඇති බවයි.

එසේම, ඒවාට රක්ෂණ වන්දිද ලබාගෙන ඇති බවද ඒ මහතා එහිදී පිළිගෙන තිබේ.

මයික්‍රෝ සමාගම මෙසේ රක්ෂණ වන්දිද ලබාගෙන ඇති නමුත් අදාළ පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගෙන සය මසක් ගතවුවද එම මුදල හෝ නැවත ලබාදීමට කටයුතු කර නොමැති බව එහිදී හෙළිවිය.

ජේකොබ්ස් මහතාගෙන් පාරිභෝගික අධිකාරිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තවත් කරුණක් වූයේ මයික්‍රෝ සමාගම වාහන එකලස් කිරීමට මෙරටට වාහන කොටස් ගෙනඒමේදී බදු නොගෙවන බවයි.

එම සමාගම වාහන සඳහා බදු ගෙවනු ලබන්නේ ඒවා එකලස් කර අවසන්වී එම මෝටර් රථය පාරිභෝගිකයකුට විකුණූ පසුව බවද එහිදී හෙළිව තිබේ.

මේ අතර, අයෝජන ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක බවද ජේකබ්ස් මහතා සඳහන් කර ඇත.

අසාධාරණයට ලක්වූ පාරිභෝගිකයා විසින් තමාට වෙන්කරන ලද මෝටර් රථය ගංවතුරෙන් විනාශයට පත්වූයේ නම් විනාශයට පත් මෝටර් රථයේ කොටස් තමාට පෙන්විය හැකි දැයි මයික්‍රෝ කාර් සමාගමේ නියෝජිතයාගෙන් විමසා ඇති අතර ඔහු එහිදී එම ඉල්ලීම මඟ හැර තිබේ.

අවසානයේදී මයික්‍රෝ කාර් සමාගමේ නියෝජිතයා පැමිණිලි විභාගය සිදු කළ නිලධාරීන්ට පොරොන්දුවී ඇත්තේ ගිවිසුම්ගත වාහනය නොලැබීමෙන් අසාධාරණයට ලක්ව ඇති පාර්ශවයට ලබාගෙන සහන කුමක්ද යන්න මයික්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර සති දෙකක කාලයක් තුළ දැනුම් දෙන බවයි.

සබැඳි පුවත්
මයික්‍රෝ කාර් ලොක්කෝ වංචාවකට පාරිභෝගික අධිකාරියට කැඳවයි

මයික්‍රෝ කාර් කළ මගඩියක් ගැන ජනපතිට හා අගමැතිට පැමිණිලි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top