May 24, 2022

බඩඉරිඟු සහ සෝයා නෑ! - ත්‍රිපෝෂ කම්හල වැසෙයි Featured

බඩඉරිඟු සහ සෝයා නොමැතිවීම හේතුවෙන් සිඟිත්තන්ට නොමිලේ ලබා දෙන අතිරේක ආහාරයක් වන ත්‍රිපෝෂ නිපදවන රජයේ ත්‍රිපෝෂ කම්හල මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.

ත්‍රිපෝෂවලට සමාන අතිරේක ආහාර නිපදවන සමාගම් ද මේ වන විට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රශ්නය හේතුවෙන් නිෂ්පාදන අවම කර ඇතැයි පැවසේ.

එමෙන් ම බඩඉරිඟු හා සෝයා යොදාගෙන අතිරේක ආහාර නිපදවන කුඩා පරිමාණ ව්‍යාපාර බොහොමයක් මේ වන විට වසා දසා ඇති බවද එම නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

"ඔක්තෝබරයේ වැව්වොත් ආහාර නිෂ්පාදන කළ හැකියි"

මේ වන විට රට තුළ බඩඉරිඟු හිඟයක් ඇති බවත් ලබන ඔක්තෝබරයේ ගොවීන් විසින් බඩඉරිඟු වගා කළොත් එහි අස්වනුවලින් එම ආහාර නිෂ්පාදන කළ හැකි බවත් ත්‍රිපෝෂ ලංකා ආහාර නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් තවලම්පොළ මහතා පවසයි.

වාර්ෂිකව මෙරට බඩඉරිඟු පරිභෝජනය මෙට්‍රික් ටොන් තුනහමාරක් පමණ වන බවද මේ හේතුවෙන් බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා ද සහනාධාරයක් ලබාදී දිරිමත් කිරීමට රජය පියවර ගතයුතු බවද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top