Jun 08, 2022

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ අවසන් කළ යුතුයි - ඇමති නිමල්

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසර තුළදීම අවසන් කළ යුතු බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ රුපියල් බිලියන 315ක ණය කන්දරාවක් තවදුරටත් මේ රටේ ජනතාවට බරක් නොවීමටයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පසුගියදා (01) කටුනායක ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිදහස් සේවක සංගමයේ කාර්යාලයේ පැවති සේවක නියෝජිත හමුවේදීය.

මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දීර්ඝ කාලයක් සුදු අලියෙක්ව පැවති මෙම ගුවන් සමාගම නඩත්තු කිරීමට මේ රටේ සංවර්ධනයට යොදා ගත හැකිව තිබූ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කර ඇති බවත්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මෙම ආයතනය මහජන මුදලින් නඩත්තු කිරීම රටටම කරන අසාධාරණයක් බවයි.

එම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කළ යුතුය යන්න ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම ගුවන් සේවය ගුවන් ප්‍රතිව්‍යුහගත කිරීමට හොඳ මොඩලයක් සැකසිය යුතු බවත්, ඒ අනුව මෙම ගුවන් සේවය භාර ගැනීමට දේශීය ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නම් ඉතා අගය කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, අද වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව එකම ගුවන් යානාවක්වත් නැති බවත්, සමාගම සතු ගුවන් යානා (21) විසි එකම කුලී පදනම මත ලබා ගත් ඒවා බවත්, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කීර්තියත් ,ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගොඩබෑමට විවිධ රටවලින් අප වෙත ලබා දී ඇති අවසරය හා පහසුකම් මෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු හා කාර්යක්ෂම සේවකයින් මෙම සමාගමට අයත් ප්‍රාග්ධනය බවත් එය සැලකිල්ලට ගෙන ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවත්, මේ පිළිබඳ දැනටමත් තමා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇති බවත් ය.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරන මහතා කියා සිටියේ, අපේ ජාතික ගුවන් සේවය මේ තත්ත්වයට පත්වීම පිළිබඳව වගකිවයුත්තේ සේවකයන් නොව වැරදි තීන්දු ගත් දේශපාලකයන් සහ ඉහළ පාලන අධිකාරිය බවයි.

එසේම ආයතනය රැක ගැනීම සඳහා යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බව පිළිගන්නා බවත්, ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම බාහිර පාර්ශ්වයකට ලබා දෙන්නේ නම් එය දේශීය ආයෝජකයෙක්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

කොවිඩ් වසංගත සමයේ මෙම ආයතනයේ සේවකයන් සිය වැටුපෙන් 25% ක් ආයතනයට ස්වෙච්ඡාවෙන් පරිත්‍යාග කළ බවත්, ගුවන් මගීන් නොපැමිණි එම කාලයේ සියළු සේවකයන් එක්ව කම්කරුවන්සේ වැඩ කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කැබින් ලෝඩින් කරමින් සමාගමට රුපියල් මිලියන හාරසියයක (400) මුදලක් උපයා දුන් බව ද සේවකයෝ මෙහි දී පෙන්වා දුන්නේය.

Srilankan1 670px 22 03 08

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top