Jun 18, 2022

හෙට ඉඳන් හාල් දෙන හැටි ඩඩ්ලි කියයි (වීඩියෝ)

පවතින තත්ත්වය හමුවේ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් හඬ නගා සහල් මිල ස්ථාවර අගයක තැබීමට කටයුතු කිරීමට තමා මූලිකත්වය ගන්නා බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඒ අනුව, හෙට (19) සිට රජයේ පාලන මිල අනුව නාඩු සහල් කිලෝවක් රු. 220ක මිලකටත්, සම්බා කිලෝවක් රු. 230 ටත්, කීරි සම්බා කිලෝවක් රු. 260 ක මුදලටත් සහල් ලබාදෙන බවත් ඔහු පවසයි.

සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"මේක අපි හැමෝටම අමාරු කාලයක් බව මම පිළිගන්නවා. විශේෂයෙන්ම රජයේ අමනෝඥ නිළධාරීන්ගේ හා පාලකයන්ගේ මරි මෝඩ තීන්දු නිසා රටේ වී ගොවිතැන ඇතුලු කෘෂිකර්මාන්තය වළපල්ලටම වැටිලා. ඒ වුණත් මේ වෙලාවෙ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් හඬක් නඟලා, සහල් මිල ස්ථාවර අගයක තියන්න මම මූලිකත්වය ගන්නවා. මොකද මම පාලන මිලට සහල් දෙනව නම්, අනිත් අයට නොදී ඉන්න බැරි හේතුවක් නැහැනෙ," යැයි ඔහු පැවසීය.

"රට තුළ වී සංචිත තවත් තුන් මසකට සීමා වී ඇති කාලවකවානුවක රජයේ වගකිවයුතු බළධාරීන් විසින් කැසට් පට වෙළඳපොළට නිකුත් කරනව වගේ ගැසට් ගැසීම නිසා රටේ මහජනතාවත්, ව්‍යාපාරිකයනුත් අනාථ වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ."

"විශේෂයෙන්ම මීට මාස තුනකට සාපේක්ෂව ඩීසල් මිල රුපියල් 250/- කින් ඉහල ගොස් ඇති කාලවකවානුවක, අමුද්‍රව්‍ය හිඟකමින් ඇසුරුම් මිල 300% කින් ඉහළ ගොස් ඇති වටපිටාවක මේ මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කිරීම අතිශයින්ම දුෂ්කර බව ඔබ දන්නවා...එහෙත් දේශීය ව්‍යවසායකයෙකු ලෙසින් ඒ කිසිවක් ගණන් නොගෙන, ලාභ පසුපස නොයමින් මේ දුෂ්කර කාළය තුළ රජයේ පාලන මිලට යටත්ව සහල් අලෙවි කිරීමට මා තීරණය කළා...එම නිසා මා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ කාලය කැප කර, ඉවසීමෙන් සිටිනා ලෙසයි."

 

සබැඳි පුවත් :

සහල් හිඟයක් මවා ගාන උස්සන්න හදන මෝල් කාරයෝ

මහ මෝල්ලු ජනතාව ගසාකන්නේ මෙහෙමයි!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top