Jun 21, 2022

ICTA හැදූ තෙල් ඇප් එකත් අවුල්; ඇප් එක අක්‍රිය කරයි

පසුගිය කාලය පුරාම මෙරට රුපියල් කෝටි ගණනක මුදල් නාස්ති කර දැමූ බවට දිගින් දිගටම චෝදනා එල්ලවන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පසුගිය දිනවල ඉන්ධන ලබාගතහැකි ස්ථාන හඳුනා ගැනීමට එළිදක්වා තිබූ ජංගම දුරකථන යෙදවුම ද තාවකාලිකව අක්‍රිය කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ එම යෙදවුමේ සඳහන් වන පරිදි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබෙන බවට වාර්තා වීම හේතුවෙනි.

මෙවැනි යෙදවුමක් බලශක්ති අමාත්‍යංශය භාවිතාවට ගැනීමට හේතුවූයේ දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳ තොරතුරු වඩාත් පහසුවෙන් කළමනාකරණය කිරීමට සහ එම තොරතුරු මහජනතාවට පහසුවෙන් දැනගැනීමේ හැකියාව සඳහාය.

පසුගිය කාලයේදී එම යෙදවුමේ පරිදි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලැබී නොමැති අතරම, ඉන් එම යෙදවුම අනුව ඉන්ධන පිරවුම්හල්වලට පැමිණි පිරිස අනවශ්‍ය රස්තියාදුවකට ලක්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම යෙදවුම වඩාත් කාර්යක්ෂම ආකාරයකට මනා සැලසුමකින් යුතුව ඉදිරියේ දී සකස් කර හඳුන්වා දෙන බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top