Sep 16, 2022

21ට අඩු අයට කැසිනෝ තහනම්; ධම්මිකලාගෙන් කැසිනෝ ගිලිහෙයි! Featured

නව ව්‍යාපාරිකයන්ට කැසිනෝ කර්මාන්තයට ඇතුළුවීමේ පහසුකම් සලසමින් රජය විසින් නව නීති ගැසට් කිරීමත් සමඟ කාලයක් මුළුල්ලේ මෙරට කැසිනෝ ඒකාධිකාරිය දැරූ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා හා රවී විජේරත්න යන දෙදෙනාගේම ව්‍යාපාර සඳහා විශාල තර්ජනයක් එල්ලවනු ඇතැයි වාර්තා වේ.

මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මගින් වයස අවුරුදු 21ට අඩු කිසිවකුටත් කැසිනෝ ශාලාවලට ඇතුළුවීම ද තහනම් කර ඇත.

ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව මේවන විට කැසිනෝ බදු ගෙවා කැසිනෝ ව්‍යාපාරය සඳහා අත ගැසීමට පසුගිය කාලයේදී වැඩි වශයෙන් නම කියවුණු ව්‍යාපාරිකයෙක් සූදානමින් සිටින බවයි.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මෙතෙක් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ධම්මික හා රවී යන දෙදෙනාට පමණි.

එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා අදාළ ව්‍යාපාරිකයන්ට හැරෙන්නට කිසිදු වෙනත් අයෙකුට කැසිනෝ ව්‍යාපාර සඳහා එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී ඇති බවද පැවසේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නව අති විශේෂ ගැසට් පත්‍රයක් 2022 අගෝස්තු 31 දාතමින් නිකුත් කර ඇත.

රවී විජේරත්න මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටු හිතවතෙකු බව ප්‍රසිද්ධ රහසක් වන අතර ඔහුගේ මෙම නව තීන්දුවත් සමඟ වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ගමනේ වෙනසක් ඇතිව ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.

අදාළ ව්‍යාපාරිකයන් දෙදෙනාම මෙරට වාමාංශික දේශපාලන පක්ෂයක් සඳහා මූල්‍ය සහය ලබාදෙන අය බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

ආර්ථික කමිටු ලොක්කා ධම්මිකගේ මල්ලිලාගෙන් කෝටි ගණනක බදු පොලු!

බදු දැලෙන් රිංගූ කැසිනෝ මුදලාලිලා බදු ගෙවන්න එකඟ වෙයි

කැසිනෝ ගැන අලුත් තීරණයක්..!

කැසිනෝ නීති ගැන ගැසට්ටුවක් එයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top