Sep 21, 2022

තීන්දුව ජනතාවටදී ; සමාගම් ඇසුරුම් බිත්තර මිල බස්සන්න බෑ කියයි Featured

සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන ඇසුරුම් කළ බිත්තරවල මිල අඩු කරන ලෙස ආණ්ඩුව සිදුකළ ඉල්ලීමක් නිෂ්පාදන සමාගම් විසින් ඊයේ (20 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ.

වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී බිත්තර මිල අඩු කරන්නැයි නිලධාරීහු සමාගම්වලින් ඉල්ලා ඇත.

එහෙත් විවිධ බදු වර්ග හේතුවෙන් මිල අඩු කිරීමට නොහැකි බව එම සමාගම් පෙන්වා දී තිබේ.

ඇසුරුම් කළ බිත්තර පැකැට්ටුවක් සුපිරි වෙළෙඳ සල්වල අලෙවි වන්නේ රුපියල් හයසිය පනහකටය.

මේ අතර බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයද වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. එම පාලන මිල ඉවත් නොකරන්නේ නම් මිල සංශෝධනයක් සිදු කරන ලෙස සංගමය යෝජනා කර තිබේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා පාලන මිලට බිත්තර ලබාදිය නොහැකි බව සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වනවිට පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ වැටලීම් සියයක් පමණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.

මෙලෙස ඇසුරුම් කළ බිත්තර නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන සමාගම් වන්නේ ස්විට්ස් ලංකා (Switz Lanka (Happy Hen), නීල් ෆාමා (Nel Farm (NelFarms), ආරෝග්‍යා ෆාම් (Arogya Farm (Omega) හා කාර්ගිල්ස්, කීල්ස් හා ආර්පිකෝ ඇතුළු සමාගම්ය.

කෙසේවුවද, පසුගිය කාලයේදී බිස්කට් නිෂ්පාදකයින් විසින් අනිසි ලෙස සිය නිෂ්පාදන මිල වැඩි කිරීමෙන් පසුව ජනතාව විසින් එම බිස්කට් මිලදී ගැනීම අඩු කිරීමත් සමඟ බිස්කට් නිෂ්පාදකයින්ගේ අලෙවිය අඩුවීමෙන් පසුව ඔවුන් විසින්ම අදාළ අවසන් නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීන්දු කරනු ලැබිණි.

මේ අතර, මේවන විට ලංකාව මුහුණදී සිටින ඩොලර් හිඟය ඇතුළු දැඩි ආර්ථික දුෂ්කරතාවලින් යම් ප්‍රමාණයකින් හෝ මිදීමට නම් බහු ජාතික සමාගම් ඇතුළු ප්‍රධාන නිෂ්පාදන සමාගම්වලින් ජනතාව මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය අඩු කර කුඩා පරිමාන නිෂ්පාදකයින් හා වෙළෙන්දන් ශක්තිමක් කළ යුතු බව ආර්ථික විශේෂඥ මතය වේ.

ඒ බහු ජාතික සමාගම් හා විශාල සමාගම් අමුද්‍රව්‍ය පිටරටින් සපයා ගැනීමට ඔවුන් වැඩි උණ්න්දුවක් දක්වන නිසා බවද ඔවුන් පෙන්වාදෙයි.

එලෙසම බහු ජාතික සමාගම් මෙරට මුදල් ඩොලර් ලෙස සිය රටවලට ගෙනයාමද එම සමාගම් භාණ්ඩ මිලදී ගැනීම අඩුකිරීම හරහා අවම කළ හැකි බවද ඔවුහු පෙන්වාදෙති.

බිත්තරවලට පාලන මිලක් පනවා තිබියදී ඇසුරුම් කළ බිත්තර ගිනිගණනට විකුණන බවට හා ඒවා විකිණීමට සුපිරි වෙළඳ සමාගම් අනුබලදෙන බවට මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් අප වෙබ් අඩවිය විසිනි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top