Aug 02, 2021

ZOOM අස්සේ අතවර රැල්ලක් - දිනකට පැමිණිලි 20ක්! Featured

ඔයාලට තවම සූම් ගැන හරි අවබෝධයක් නෑ. ඒ නිසා මේ තාක්ෂණය ගැන හොඳට ඉගෙන ගන්න වෙනවා. වැඩිපුර ඬේටා කැපෙන්නෙ නැති පැකේජ් එකක් මම ඔයාලට අරන් දෙන්නම්. ඒ ගැන වැඩි විස්තර කියන්න මට ඔයාලගේ ප‍්‍රයිවට් ෆෝන් නම්බර් එක දෙන්න” ජංගම දුරකථන අලෙවි නියෝජිතයකු මාතර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවියන්ගෙන් සූක්ෂම ලෙස ජංගම දුරකථන අංක ලබාගෙන තිබුණේ එලෙස පවසමිනි. සූම් තාක්ෂණය නුහුරු නිසා ඒ සම්බන්ධ වැඩිදුර ඉගෙන ගන්නා අතරම ධනාත්මක ආකල්ප වැඩිදියුණු කර ගත යුතු බවත් පවසා ඔහු නිතර නිතර විවිධ වීඩියෝපට හා ඡායාරූප සිසුවියන්ගේ වට්ස්ඇප්වලට හුවමාරු කර තිබේ.


මෙවැනි පුද්ගලයකුගෙන් උදව් ලැබීම පිළිබඳව සිසුවියන්ට කිසිම විටක සැකයක් නොසිතෙන්නට ඇත. ක‍්‍රමක‍්‍රමයෙන් සිසුවියන් හා කුළුපග වන ජංගම දුරකථන අලෙවි නියෝජිතයා පසුව මෙම සිසුවියන්ට කර ඇත්තේ අපූරු යෝජනාවකි.

"ඔයාලා නිදහසේ ඉන්න ෆොටෝ අරගෙන මට වට්ස්ඇප් කරන්නකෝ. මම ඔයාලට ඉගෙන ගන්න තවත් උදව් ක්‍රන්නම්. ෆ‍්‍රී පැකේජ් අරන් දෙන්නම්." මාර්ගගත ක‍්‍රමය හා තාක්ෂණය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා තරුණ ගැහැනු දරුවන්ගේ ජීවිත දඩමීමා කරගත් 28 වියැති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මාතර ළමා හා කාන්තා කාර්යාංශයට මොහුව අත්අඩංගුවට ගත්ත ද ඒ වන විටත් ගැහැනු ළමුන් බොහෝ දෙනකුම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් හරහා මෙම පුද්ගලයාට ලබාදී අවසන්ය.

මේ පසුගිය දිනෙක අන්තර්ජාලය හා සමාජජාල අවභාවිත කිරීම සම්බන්ධව වාර්තා වූ එක් සිදුවීමක් පමණි. රැල්ලක් ලෙස අපචාර, දූෂණ වංචා පිළිබඳව සිදුවීම් වාර්තා වෙද්දී අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය එම සිදුවීම්වලට සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වී ඇති බව එවැනි සිදුවීම් දෙස විමසිල්ලෙන් බැලූ විට අවබෝධ වේ.

දිනෙන් දින වැඩි වන ළමා අපචාර, විවිධාකාරයේ අපයෝජන, හිංසන හා වංචාවන්වලට සමාජ මාධ්‍යයන්වල මැදිහත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අපත් සමඟ පැවසුවේ මෙවැනි කතාවකි.

"පසුගිය මාස දෙකට සමාජ මාධ්‍ය අවභාවිත කළ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 1578 අපට ලැබුණා. කොවිඞ් පැතිරීමත් එක්ක අන්තර්ජාලය හා සමාජ ජාල, වෙබ් අඩවි භාවිත කරන්නන් හා වාර ගණන සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි වුණා. ඒත් එක්කම සමාජ මාධ්‍ය හරහා සිදුවන නීති විරෝධී සිදුවීම්, අපරාධ, අපචාර වැනි සිද්ධිවල පැමිණිලි ලැබීමත් වැඩි වුණා. මේ වන විටත් දිනකට විස්සක් තිහක් අතර ප‍්‍රමාණයක් එක් එක් වර්ගයේ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙනවා."

එම නිලධාරීන් පවසන ආකාරයට මාසයකට සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප‍්‍රමාණය පන්සියය ඉක්මවයි.

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය තුළ සිදුවන මෙවැනි ක‍්‍රියාකාරකම් පිළිබඳව මේ වන විට සොයා බලා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් වුවද පසුගිය වසර කිහිපය තුළ එම කටයුතු සිදුකර තිබුණේ පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයයි. එම ආයතනයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා මෙසේ අදහස් දැක්වීය.

"සාමාන්‍යයෙන් මේ වෙද්දි ඔන්ලයින් හරහා වන අපරාධ වැඩිවෙලා තියෙනවා. ෆේස්බුක් වට්ස්ඇප්, ඊමේල් හරහා සිදුවන වංචා දූෂණ ප‍්‍රමාණය ඉහළ ගිහින්. සමාජජාල හා අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් 2009 වසරේදී අපට වාර්තා වුණේ සිදුවීම් 96 ක් වගේ ප‍්‍රමාණයක්. එය 2010 දී 150 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. 2015 වෙද්දි පැමිණිලි 2904 ක් වාර්තා වුණා. පසුගිය වර්ෂයේ (2020) 3560 දක්වා පැමිණිලි වැඩි වුණා. මේ පැමිණිලි අතර ලිංගික දර්ශන හා ඡායාරූප හුවමාරු කිරීම, දත්ත හොරකම් කිරීම, අනවසරයෙන් සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුල් වීම වගේම අපහාස වගේ සිදුවීම් තියෙනවා. මේවා වැඩි වශයෙන්ම සිදු වෙලා තියෙන්නේ ෆේස්බුක්, වෙබ් අඩවි හා මැසෙන්ජර් හරහා."

2009 සිට මේ වන විට අන්තර්ජාලය හා සමාජජාල අවභාවිතය පිළිබඳ ලැබෙන පැමිණිලි ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති බව ඒ මහතා ඉදිරිපත් කළ දත්ත පරීක්ෂා කිරීමේදී අවබෝධ වේ.

කොවිඞ් වසංගතයට මුවා වෙමින් බොහෝ වසංගත පතුරුවන මිනිසුන් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා හමාරය. රටක සන්නිවේදන, සමාජයීය, ආර්ථික, ආගමික, දේශපාලන ආදී සෑම ක්ෂේත‍්‍රයකම සුබසිද්ධිය උදෙසා අන්තර්ජාල හා සමාජ මාධ්‍ය යොදාගත හැකිව තිබියදී ඒවා තමන්ගේ මෙන්ම අනෙකාගේත්, රටේත් විනාශය වෙනුවෙන් භාවිත කරන්නේ අනවබෝධය නිසා ද එසේත් නැතිනම් හිතාමතාම ද යන්න ප‍්‍රශ්නයකි.

සමාජජාල හා අන්තර්ජාල අවභාවිත කිරීම හරහා අපරාධ රැසක් මේ වන විට සිදුව ඇති බවත් මේ දිනවල ඒවා පිළිබඳ සොයා බලා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන මහතා අප සමඟ පැවසුවේය. සමාජ ජාල හා අන්තර්ජාල අවභාවිතය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබෙන ඇතැම් සිදුවීම් දරුණු අපරාධ තරමටම භයානක බව එම දෙපාර්තමේන්තුව පැවසූ තොරතුරුවලින් හෙළිවිය. යම් යම් ආයතනික හා නීතිමය ප‍්‍රතිපත්තීන් මත අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සවිස්තරාත්මක මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු ලබා දිය නොහැකි වුවත් මහජන සුබසිද්ධිය උදෙසා ඔවුන් ලබා දුන් කරුණුවල සාරාංශය මෙසේ සඳහන් කර සිටින්නෙමු.

* ගුරුවරියන්ට හා දරුවන්ට සූම්වලින් නිරුවත් ඡායාරූප

"කොවිඞ් වසංගතයත් එක්ක දරුවන් වගේම ගුරුවරුන් සූම් තාක්ෂණය තමයි ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය කරගෙන ගියේ. ඒ වගේම බොහෝ පිරිසක් තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු නිවසේ ඉඳන් කළේ මාර්ගගත ක‍්‍රමයට. සාමාන්‍යයෙන් සූම් මීටින් එකක් තියෙද්දී පාස්වර්ඞ් එක, අයිඞී නම්බර් එකක් කලින් අදාළ සාමාජිකයන්ට ලබා දෙනවා. මේ තොරතුරු ලබාගන්න ඇතැම් පිරිස් තමාට අදාළ නොවුණත් සූම් සාකච්ඡාවලට එකතුවෙලා අනවශ්‍ය ආකාරයෙන් හැසිරෙනවා. නිරුවත් දර්ශන පෙන්වනවා."

සූම් තාක්ෂණය ඔස්සේ කටයුතු කිරීමේදී මේ දිනවල වඩාත් ප‍්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම තරුණ පිරිස්, පාසල් ශිෂ්‍යයන් ගුරුවරුන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවට අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

සූම් තාක්ෂණය මුල් කාලයේදී බොහෝ දෙනෙකුට නුපුරුදු වුවද මේ වන විට එම ක‍්‍රමවේදය හරහා දේශන සාකච්ඡා ආදිය පැවැත්වීම සාමාන්‍ය කාරණයක් වී තිබේ. නමුත් තාක්ෂණය සාමාන්‍යකරණය වන විට එය අවභාවිත කරන්නන් ද වැඩි වන බැවින් මෙවැනි ක‍්‍රමවේද භාවිත කළ යුත්තේ වඩාත් විමසිල්ලෙනි.

* වෙබ් සයිට්වලින් සල්ලි ගරන්න විදේශිකයොත් ලංකාවට ඇවිත්

සමාජ මාධ්‍ය හරහා සිදුවන මුදල් වංචා පිළිබඳව විටින් විට අප පුවත්පත හරහා තොරතුරු වාර්තා කෙරුණි. මේ දිනවල විද්‍යුත් තැපෑල, වට්ස්ඇප්, ෆේස් බුක් හරහා මහා පරිමාණ මුදල් වංචා සිදුවන අතර නයිජීරියානු ජාතිකයන් පිරිසක් හා ලාංකිකයන් පිරිසක් එක්ව අසරණ මිනිසුන් රවටමින් මහා පරිමාණයෙන් මුදල් ජාවාරම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

"ලංකාවට ඇවිත් ඉන්න නයිජීරියානු ජාතික පිරිසක් මේ මහා පරිමාණ මුදල් වංචාව සිදු කරන බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. බොහෝ සොයාබැලීම්වලින් පස්සේ අසරණ මිනිසුන් කිහිප දෙනෙක් එකතු කරගෙන ඔවුන්ට යම්කිසි මුදලක් දීලා හැඳුනුම්පත් අංකය ලබාගෙන සිම් පතක් මිලදී ගන්නවා. ඒ වගේම බැංකු ගිණුම් ආරම්භ කරනවා. ඊට පස්සේ ව්‍යාජ කුරියර් සර්විස් එකක් පටන් ගන්නවා. මේ අතරේ තව පිරිසක් ෆේස්බුක් හරහා කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන ඔවුන් එක්ක හිතවත්කම් ඇති කරගන්නවා. තමන් විශාල ධනවතුන් හා බුද්ධිමතුන් බව පෙන්වමින් ලංකාව වැනි රටවල්වලට උදව් කිරීමට කැමැති බව පවසනවා. හිතවත් කෙනෙක් වෙනුවෙන් ත්‍යාගයක් ලබා දීමට කැමති බව පවසමින් ටිකෙන් ටික මිනිස්සුන්ගේ හිත දිනා ගන්නවා. පස්සේ ලොතරැයි දිනුමක් හෝ පරිත්‍යාගයක් යැයි පවසමින් පුද්ගලික තොරතුරු ලබා ගන්නවා. ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් වුණොත් විශාල බදු මුදලක් අය වෙන නිසා පුද්ගලික ලිපිනයට අදාළ පාර්සල් යොමු කරන බව පවසා මුදල් තැන්පත් කරන්න කියනවා. හැබැයි මේ තැන්පත් කරන මුදල් අරගෙන ඒ පුද්ගලයෝ අතුරුදන් වෙනවා. අර දුන්න ෆෝන් නම්බර් වැඩ කරන්නේ නැතුව යනවා. මේ වෙද්දි මේ වගේ මුදල් වංචාවන් කිහිපයක් පිළිබඳවම අපට තොරතුරු ලැබිලා තියෙනවා."

මේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා සිදුවන මුදල් ජාවාරමේ අලූත්ම කතාවයි. දානපතියන් ලෙසින් හෝ හිතවතුන් ලෙස පැමිණ බලහත්කාරයෙන්ම ත්‍යාග, මිල මුදල් ලබාදීමට උත්සාහ ගන්නා පුද්ගලයින් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු දන්නේ නම් පොලිසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට ලබා දෙන ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

* සමාජ ජාලා හරහා කාම දර්ශන හුවමාරුව රැල්ලක් වෙලා

බොහෝ අවස්ථාවල මුහුණු පොත හා මැසෙන්ජර් හරහා ලිංගික දර්ශන ඡායාරූප හුවමාරු කිරීම, ඒවා පෙන්වමින් බිය ගැන්වීම හා තර්ජනය කිරීම සිදුවේ. එසේත් නොමැති නම් පේ‍්‍රම සබඳතා බිඳවැටීමෙන් පසු ඇතිවන වෛරය පිරිමසා ගැනීමට තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ඡායාරූප විකෘති කර හුවමාරු කරනු ලැබේ. එලෙසින්ම කාන්තාවන් හා දරුවන් ලිංගික සේවයට හා මෙහෙකාර සේවය සඳහා අලෙවි කිරීම ද සමාජ මාධ්‍ය හරහා බහුලව සිදුවන සිදුවීමකි.

”ලිංගික දර්ශන ළඟ තබා ගැනීම වගේම මේවා හුවමාරු කිරීමත් අපරාධයක්. තමන්ගේ හෝ වෙනත් පුද්ගලයෙක්ගේ නිරුවත් ඡායාරූප ළඟ තබාගැනීම, වෙබ් හා සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීම, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සැකසීම, අලෙවි කිරීම ආදී සියල්ලම දඬුවම් ලැබිය හැකි බරපතළ වැරදි ලෙස ගණන් ගන්නවා.”ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

* ඔබේ ෆේස්බුක්, වට්ස්ඇප් ප‍්‍රවේශම් කරගන්න

”ව්‍යාජ ෆේස්බුක් හරහා විවිධ වංචාවන් සිදු කිරීම, ෆේස්බුක් ගිණුම් හැක් කිරීම, දත්ත හා පුද්ගලික තොරතුරු සොරකම් කිරීම හා විකෘති කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි අප ආයතනයට දිනකට පහක් හයක් වගේ ප‍්‍රමාණයක් ලැබෙනවා. සමහර ප‍්‍රසිද්ධ ආයතනවල පුද්ගලික දත්තයන් පවා මේ හැකර්ලා සොරකම් කරනවා. මෙවැනි හැක් කිරීම් තුළින් මහා පරිමාණ මුදල් වංචා පවා සිදු කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම ත‍්‍රස්තවාදය, ජාතිවාදය වැනි කාරණා පවා ඇවිස්සීමට ඉඩකඩ තියෙනවා.”

විශේෂයෙන්ම තමන්ගේ රහස් අංකය තවකෙකු අතට පත් නොකළ යුතුයි. එය කිසිවෙකුටත් අනුමාන කළ නොහැකි එකක් ලෙස සකස් කරගැනීම නොදන්නා අය සිය ගිණුමට එකතුකර ගැනීම ආදියෙන් වැළකී සිටිය යුතුයි. සියලූදෙනාට ප‍්‍රදර්ශනය වන ලෙස පින්තූර පළකිරීමේදී මෙන්ම නොදන්නා වෙබ් අඩවිවලට තමන්ගේ රහස් අංකය භාවිත කිරීමේ දී එහි ඇති අවදානම් සහිත බව තේරුම් ගත යුතුයි.

පසුගිය මාස දෙක තුළ පමණක් සමාජ මාධ්‍ය ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළුවීම් හා දත්ත වෙනස් කිරීම සහ සොරකම් කිරීම පිළිබඳ පැමිණිලි 195 ක් පමණ ලැබී ඇතැයි පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා පවසයි.

* මඩ ගහන්න හොඳම මාධ්‍ය සමාජ මාධ්‍ය කරගෙන

විවිධ හේතු කාරණා පදනම් කරගනිමින් පුද්ගලයින්ට අපහාස කිරීම, ඔවුන්ගේ චරිත විනාශ වන අයුරින් තොරතුරු පළ කිරීම මුහුණු පොත හරහා බහුලව සිදුවන්නකි. එවැනි අපහාස කිරීම නිසා ජාතික සමඟිය බිඳ වැටීම, ආගමික මතභේද ඇති වීම රටේ ජාතික ආරක්ෂාවට බාධා පැමිණීම සිදුවිය හැකිය. එමෙන්ම මෙවැනි අපහාස කිරීම් විඳ දරා ගත නොහැකි තරුණ පරපුර ළමයින් සහ කාන්තාවන් සියදිවි නසාගත් පුවත්ද මාධ්‍ය හරහා විටින් විට වාර්තා වේ.

"සමාජමාධ්‍ය කියන්නේ පරිස්සමින් භාවිත නොකළොත් භයානක ප‍්‍රතිඵල ලැබෙන දෙයක්. තමන්ගේ ජීවිත වගේම අනුන්ගේ ජීවිතත් මේ රටත් විනාශයට ඇදලා දාන්න හැකියාවක් සමාජ මාධ්‍ය වලට තියෙනවා.ඒ නිසා අපි නිරතුරුවම ජනතාවට දැනුම් දෙන්නේ සමාජ මාධ්‍ය භාවිත කරද්දී ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තරුණ පරපුර, කාන්තාවන් සහ ළමයින් විවිධ අපචාරවලට, වංචාවලට හසුවෙන්න තියන ඉඩ ප‍්‍රමාණය වැඩියි. ඒ නිසා අන්තර්ජාලය හෝ ෆේස්බුක් හෝ අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ගනුදෙනු කරද්දී නාඳුනන පුද්ගලයින් පිළිබඳ විශ්වාසය තැබීමේදී කිහිප වරක් සිතා බලා කටයුතු කළ යුතුමයි. තමන්ගේ සමීපම අයෙකුට හෝ තමන්ට කුමක් හෝ බලපෑමක් සිදු වෙනවා නම් ඒ ගැන තොරතුරු සඟවන්නේ නැතුව ළඟම තියෙන පොලිස් ස්ථානයට, කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරියට හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ලෙසින් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට දැනුම්දීම තමයි වඩාත් සුදුසුම තීරණය වන්නේ."

අන්තර්ජාල හා සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ සම්බන්ධයෙන් 1983 අංක 22 දරණ අසභ්‍ය ලේඛන පනත, 2007 අංක 28 දරන පරිගණක අපරාධ පනතේ 3 වගන්තියේ සිට 13 වගන්තිය දක්වාත්, දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තියට අනුවත් සමාජ මාධ්‍ය ඔස්සේ අපරාධ සිදු කරන්නන්ට නීතිමය දඬුවම් පැමිණවීමේ හැකියාව ඇති බව පරිගණක අපරාධ විමර්ශන ඒකකය පෙන්වා දෙයි. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම, දඩ මුදල් අය කිරීම හා දඬුවම් පැමිණවීමත් අසභ්‍ය ප‍්‍රකාශන ඡායාරූප ආදිය පළ කර ඇත්නම් ඒවා ඉවත් කරවීමත් සිදු කරනු ලබයි.

ෆේස්බුක්, වට්ස්ඇප්, මැසෙන්ජර් ආදී සියලූම සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ ස්වයං වාරණයක් ඇතිවය. මේවා යහපත් දේ සඳහා මෙන්ම අයහපත් දේ සඳහා ද යොදාගත හැකිය. කොවිඞ් වසංගතයක් සමඟ ජනතාවට අධ්‍යාපනය, ආගමික, සන්නිවේදන සංස්කෘතික ආදී බොහෝ දෑ ඉටු කර ගැනීමට සමාජ මාධ්‍යවලින් අවකාශ ලැබුණි. රටක සමාජයක දියුණුවත් සමඟ තාක්ෂණය දියුණුව ද සිදුවේ. එවිට නව සොයාගැනීම් හා නව නිපැයුම් බිහි වේ. අන්තර්ජාලය මුහුණු පොත හා අනෙකුත් සමාජ ජාලා ක‍්‍රමක‍්‍රමයෙන් සමාජය දියුණු වීම හේතුවෙන් ඇතිවූ නවාංගයන් ය. මේවා භාවිත කිරීමේදී බොහෝ කරුණු පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. තරුණ දරුවන් සඳහා මෙන්ම ශිෂ්‍යයන් සඳහා ද වැඩිහිටියන් විසින් නියාමනයක් කළ යුතුය.

බාල තරුණ හැමදෙනාම සමාජ ජාලවල ස්වභාවය පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. එසේ නොමැති වුවහොත් අන්තර්ජාලය නිසා ඔබේ මෙන්ම ඔබේ දරුවාගේත්, සමීපතමයාගේත් ජීවිත අවුල් ජාලාවක් බවට පත්වනු ඇත.

(නිරෝෂා වාසල)

(දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top