Aug 29, 2021

විද්‍යාත්මක Lockdown එකකට නීති නෑ !

විද්‍යාත්මක ලොක්ඩවුන් ඉල්ලන අය එය හරියට පැහැදිලි නොකර කියන්නේ, ආණ්ඩුව මේ ලොක්ඩවුන් හරියට කරන්නෙ නැත කියා පමණි. ඉන් කියැවෙන්නේ, හරියට ලොක්ඩවුන් යනු කිසිවකුට පාරට නොබහින්නට හැකි අයුරු රටම වසා දැමීමකි.

එය කෝවිඩ් වසංගත පාලනය සඳහා අවසන් වශයෙන් පාර්ලිමේන්තුවට සහ රටට වගකියන්නේ කවුරුන්ද යන්න මත තීන්දු කළ යුත්තකි. එයට ප්‍රධාන හේතුව සියල්ලන් නිවෙස්වල රඳවා තැබීම, හමුදාව පාරට නොගෙන කළ නොහැකි හෙයිනි. 

මේ ක්‍රියාවලි සතු ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නය එනිසා අතිශය වැදගත්ය. එය වෙනත් ආකාරයකින් පාර්ලිමේන්තුවට පළමුවෙන්ම ඉදිරිපත් කෙරුවේ, යාපනය මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ය. 

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බරයේදී පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළේය. එය හදිසි සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ ආණ්ඩුවක් තීන්දු තීරණ ගත යුතු පිළිවෙත සහ ඊට අදාල යාන්ත්‍රණය පාර්ලිමේන්තුවට මුළුමනින් වග කිවයුතු ලෙස ස්ථාපනය කිරීමේ පනත් කෙටුම් පතකි.

ඔහු 1897 පනවනු ලැබ ඇති නිරෝධායන හා රෝග නිවාරණ ආඥාපනත වැනි පෞරාණික නීති හිතුමතේ යොදා ගැනීම වළකා ලමින් නූතන ලෝකයට, නූතන තාක්ෂණික හා විද්‍යා දියුණුවට ගැලපෙන අයුරු පනත් කෙටුම්පත සකසා ඇත. පසුගිය 2020 වසරේ ජූනි මස මානව හිමිකම් කොමිසම විසින් පවතින සියලු නීති සතු අඩුපාඩු ගැන ජනාධිපතිට ඉදිරිපත් කළ කරුණුද ඔහු සැළකිල්ලට ගෙන ඇත. 

එහෙත් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් එය තවමත් පාර්ලිමේන්තු විවාදයකට ගෙන නැත. විපක්ෂ නායකද ඒ ගැන කතා කරන්නේ නැත. ජ.වි.පෙ මන්ත්‍රීවරුන්ද එය මතක් කරන්නේ නැත.

අරුමය නම්, විද්‍යාත්මක ලොක්ඩවුන් ඉල්ලනවුන් ඒ සඳහා පාර්ලිමේන්තුවට හා ජනතාවට වගකිව යුතු නිත්‍යානුකූල යාන්ත්‍රණයක් ගැන කිසිදු කතාවක් නොකිරීමය. එනිසා ඔවුන්ගේ විද්‍යාත්මක ලොක්ඩවුන් ඉල්ලීමට, විද්‍යාත්මක ආරම්භයක් නැත. 

මේ සමාජයේ දැනුවත් පිරිස්, කෝවිඩ් පාලනය වෙනුවෙන් විද්‍යාත්මක ලොක්ඩවුන් ඉල්ලන අය සියල්ලට පෙර කළ යුත්තේ එය ව්‍යවස්ථානුකූලව කිරීමට, සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර වසරකට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති පනත වහාම පාර්ලිමේන්තු විවාදයට ගන්නා ලෙසත් ඒ සම්බන්ධ සමාජ කතිකාවක් රජයේ මාධ්‍ය මගින් සංවිධානය කරන ලෙසත් ඉල්ලා සිටීමය.

කුසල් පෙරේරා
(2021 අගෝස්තු 28 වන දින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top