Oct 13, 2021

යුද්ධ දිනන්න තවදුරටත් ඇමෙරිකානු පරණ ගැට වලංගු නොවෙයි!

ශ්‍රී ලංකාව කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම ලෙස එන්නත්කරණය හඳුනා ගන්නේ විවිධාකාර දේශීය අත්හදා බැලීම් සහ හුදකලා කිරීම් අවසානයේ දීය. වෛරසය කවුරුන් විසින් නිපදවූවක් දැයි සිතමින් තර්ක කරමින් සිටි බොහෝ දෙනාට මාරයා අසලට එනතුරු රෝගයේ බරපතල බව තේරුම් ගියේ නැත. මෙය පහසුවෙන් ගොඩ ආ හැකි තත්ත්වයක් යැයි රටේ දේශපාලන අධිකාරිය පවා කල්පනා කළේය. අපි තමයි හොඳටම කළේ යැයි අපේ පාලකයන් කියූවේ මෙය ඉතා ලෙහෙසි කටයුත්තක් යැයි සිතූ නිසා විය හැකිය. එහෙත් අලුත් අවුරුදු පොකුර අපට යථාර්ථය පසක් කළේය. විකල්පයක් නැති බවත් ලෝක බැංකුවට ණය වී හෝ එන්නත් ලබා ගත යුතු බවත් තීරණය වන්නේ මේ අනුවය.

ප්‍රමාද වී හෝ ආණ්ඩුව මේ තීරණයට එද්දී ඊළග ප්‍රශ්නය එන්නේ හොඳම එන්නත මොකක්ද යන්නය. ‍ හොඳම එන්නත ලැබෙන එන්නත කිව්වාට අපේ අයට එහෙම බැරි විය. විශේෂයෙන්ම 20-30 වයස් කාණ්ඩවල තරුණ තරුණියන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විවිධ මතවාදයන් විශ්වාස කරමින් එන්නත්කරණය පිළිබඳ සැකමුසුව බැලීමත්, ෆයිසර් නොලැබෙන්නේ නම් ලැබෙන එන්නත ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීමත් හේතුවෙන් එම වයස් කාණ්ඩ සඳහා සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ යම් මට්ටමකින් අඩපණ වෙන්නට විය. එය අපට වූ පාඩුවකි.

කොයි ආකාරයෙන් මොන රටේ නිපදවුවද ඕනෑම එන්නතක සිදුවන්නේ ප්‍රතිශක්තිය නිපදවීම හෝ ඉහළ දැමීමය. එමෙන්ම කුමන එන්නත ලබාගත්තද කෝවිඩ් නොවැලඳෙන්නේ යැයි කිසි විටෙක කියන්නේ නැත. එහෙත් ලෝකයම පිළිගන්නා පරිදි කෝවිඩ් පැතිරීම අවම කිරීමටත්, කෝවිඩ් වැලඳීමෙන් මියයෑමට ඇති හැකියාව අවම කිරීමටත් ඇති එකම ක්‍රමවේදය එන්නත්කරණයයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා පිළිගෙන ඇති ඕනෑම එන්නතක් ලබාගැනීම සෑහෙන බව විද්වත් මතයයි. ලෝකයේ එන්නත්කරණය අරඹා වසරකට ආසන්න කාලයක් ගතවීමත්, මෙතෙක් නිෂ්පාදනය කර ඇති කිසිදු එන්නතක බරපතළ සංකූලතා ඇතැයි මේ දක්වා කිසිදු ආකාරයක විද්‍යාත්මක කරුණු අනාවරණයක් සිදු වී නැති නිසාත් සෑම එන්නතක්ම මරණයෙන් බේරී සිටීමට ප්‍රයෝජනවත් බව පැහැදිලිය. එමෙන්ම නිසි පිළිගැනීමක් නැතැයි කියමින් එන්නත බැහැර කරන පිරිසද බහුල විය.

ඇමෙරිකාවෙන් හෝ බටහිර ඕනෑම රටකින් එන ඕනෑම දෙයක් පෙරදිග කවර නිෂ්පාදනයකට වඩා ප්‍රමිතියෙන් ඉහළ බව කාලාන්තරයක් තිස්සෙ පොදුජන විඥානයේ පවතින කරුණකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවතීම මෙයට හේතුව යැයි ඇතැමෙකුට තර්ක කළ හැකි වුවත් නිදහසින් අවුරුදු 50 කට පසුව උපන් වර්තමාන තාරුණ්‍යය පවා එම මතයේම එල්බ ගෙන සිටියි. ඇමෙරිකාව නිපදවූ ෆයිසර් හෝ මොඩර්නා එන්නත බලාපොරොත්තුවෙන් අනෙකුත් එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටියේ මේ නිසාය. එසේම මෙර හැරයෑමට මඟ බලා සිටින තරුණ පරපුර වෙනත් එන්නත්වලට විදේශ රටවල පිළිගැනීමක් නැති බව පවසමින් ෆයිසර් හා මොඩර්නා ගැනීමට තවමත් පොර බඳති. ඒ බොහෝ දෙනා චීනය, රුසියාව හෝ කියුබාවේ එන්නත් බටහිර රටවල් පිළිනොගන්නේ එන්නතේ ගැටලුවක් නිසා නොව දේශපාලන ගැටලුවක් නිසා බව දන්නේ නැත.

එන්නත් යුද්ධය ලොව දරුණුම ආර්ථික යුද්ධයක් වී තිබේ. අමෙරිකාව ඩොලර් 5 ට ෆයිසර් දෙන්න කතා කළා යැයි ඩොලර් මත යැපෙන දේශපාලකයන් කෑ ගසන්නේ මේ නිසාය. එහෙත් එසේ දෙන්න කතා කළ අවස්ථාවක් පෙන්වන්නට මොවුන්ට හැකියාවක් නැත. මානව හිමිකම් කොමිසම රැස්වෙද්දී තවත් මාස හයකින් භාවිත කිරීමට කියා ශ්‍රී ලංකාව ෆයිසර් මිලියන 14 ක් ඇනවුම් කළේ නිකම්ම නොවේ. එහෙත් මේ සියල්ල අවසානයේ සිදුවූයේ කුමක්ද? පසුගිය 10 වැනිදා ඇමෙරිකාව කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ ඕනෑම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ට ඇමෙරිකාවේ සංචාරයට අවස්ථාව ඇති බවයි. ඇමෙරිකාව ගැහුවේ යූ ටර්න් එකක්ද ? නැත. ඇමෙරිකාව ගැහුවේ ගේමකි.

ඇමෙරිකාවේ ෆයිසර් එන්නත හඳුන්වා දුන් සැනින් ප්‍රධාන ප්‍රශ්නය වූයේ එය ගබඩා කිරීම සහ බෙදා හැරීමේ සංකීර්ණ ක්‍රමවේදයයි. එහෙත් ඇස්ට්‍රාසෙනිකා, සීනෝෆාම්, සිනොවැක්ස් සහ ස්පුට්නික් එන්නත් වලට එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැත. මේ නිසාම මෙම එන්නත් වලට ඉල්ලුම වැඩි විය. ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කළේ ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය එක්වය. මේ නිසා ඇස්ට්‍රාසෙනිකාට ලෙඩක් වැටුණේ නැත. එහෙත් සීනෝෆාම්, සිනොවැක්ස් හා ස්පුට්නික් පිළිගැනීමට ඇමෙරිකාව කැමති වූයේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයට ද අවසර දෙන්නට බැරි විය. අපේ රටේද නොමිලේ ලැබුණු සීනෝෆාම් එන්නත් ජනතාවට දෙන්නට බැහැ කියමින් කල් මැරුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය නැති නිසාය. ඒ අවසරය ලැබුණද ඇතැම් ඉහළ නිලතල දැරූවෝ එය ලබා දීම භයානක බව කියන්නට වූහ. වෛද්‍ය සංගම් පවා මේවා සැක සහිත යැයි කියූහ. මේවා ඖෂධ නොව වතුර යැයි කියන්නෝද වූහ. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා පමණක් බලාපොරොත්තුවෙන් සිටින තැනට තල්ලු වුවද රෝගය පැතිරෙද්දී සීනෝෆාම්, සිනොවැක්, ස්පුට්නික් වැනි එන්නත් වල සහාය ගන්නට බොහෝ රටවලට සිදුවිය. චීනය තමන්ගේ බෙදා හැරීම වේගවත් කරද්දී ඇමෙරිකාව ෆයිසර් බෙදා හැරීමේ ක්‍රමවේදය සකසා ගැනීමට උත්සහා කලේය. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබියදීත් චීන එන්නත් ලබා ගත් අයට තම රටට ඇතුළු වෙන්නට ඉඩ නොදෙන බව ඇමෙරිකාව කීය. මේ නිසා චීන එන්නත් භාවිත කරන රටවල යළිත් ප්‍රශ්නයක් ඇති විය. අපේ තරුණ පරම්පරාව දෙවරක් නොසිතා හසුවූයේ මේ ඇමෙරිකානු ගැටයටය. එහෙත් ඔක්තෝබරය වන විට චීනය මාත්‍රා බිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් විදේශ රටවලට යවා තිබුණු බවත් බිලියන 2.2 ක් චීනය තුළ පරිභෝජනයට යොමු කර ඇති බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය . විදේශයන්ට ලබාදුන් මාත්‍රා මිලියන 37 ක් නොමිලේ ලබා දුන් ඒවා විය. ඇමෙරිකාව තම රට තුළ මිලියන 398.7 ක එන්නත් ප්‍රමාණයක් භාවිත කර තිබේ. ඔවුන් විදේශ රවලට විකුණා හෝ නොමිලේ දී ඇති එන්නත් ප්‍රමාණය මිලියන 17.8 ක් පමණ වෙන බව බී.බී.සිය පෙන්වා දෙයි. එහෙත් ඇමෙරිකානු එන්නතට ගෙවන මුදල ඉහළ නිසා ඇමෙරිකාවට ලැබෙන ලාබය සාපේක්ෂව වැඩිය.

මේ සියල්ල අවසානයේ එන්නත් වෙළඳාමෙන් තමන්ට අවශ්‍ය වෙළඳ ඉලක්ක වලට ගමන් කිරීම අපහසු බව තේරුම් ගත් ඇමෙරිකාව තමන්ගේ අනෙක් ප්‍රශ්නය දෙස බැලුවේය. එනම් සංචාරකයන් ගෙන්වා ගැනීමයි. චීනයේ දියුණුවට සාපේක්ෂව විදේශයන්හි සංචාරය කරන චීන ජාතිකයන්ගේ ප්‍රමාණය 2010 පමණ සිට සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. මෙහිදී ඇමෙරිකාව සහ යුරෝපය තමන්ගේ ගමනාන්ත බවට පත් කරගන්නේ ධනවත් චීන ජාතිකයන් වන අතර ඔවුන් මේ රටවලදී ජනප්‍රිය තලයේ වෙළඳ නාම පරිභෝජනය කිරීමට අධික මුදලක් වැය කරන්නට විය. www.statista.com වෙබ් අඩවියේ දත්ත වලට අනුව 2011 දී මිලියන 1.1 ක පමණ චීන සංචාරකයන් පිරිසක් ඇමෙරිකාවට පැමිණ තිබේ. එය 2017 වන විට මිලියන 3.1 ක් දක්වා ඉහළ ගියේය. මෙය ඇමෙරිකාවට විශාල ආර්ථික ලාභයක් ගෙන දුන් කාර්යයක් විය. එහෙත් ට්‍රම්ප් පරිපාලනය ඇරඹි සැනින් ඇති කළ විවිධ සම්බාධක නිසා සංචාරය, ව්‍යාපාර, අධ්‍යාපනය හෝ වෛද්‍ය පහසුකම් සඳහා පැමිණෙන චීන ජාතිකයන් ගේ ප්‍රමාණය අඩු වෙන්නට විය. 2019 වනවිට එය මිලියන 2.8 ක ප්‍රමාණයකට පහළ බැස්සේය. www.ustravel.org දත්තයන්ට අනුව 2018 වසරේ ඇමෙරිකානු ආර්ථිකයට චීන සංචාරකයන් දක්වා ඇති දායකත්වය ඩොලර් බිලියන 34.6 කි. චීන සංචාරකයෙකු අවම වශයෙන් ඩොලර් 6,500 ක් ඇමෙරිකා සංචාරකදී වියදම් කර තිබුණි. ඇමෙරිකාවේ සංචාරය කරන සියලුම රටවල වල සංචාරකයන් ගත් විට තනි පුද්ගලයන් වශයෙන් වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ චීන ජාතිකයන්ය. එහෙත් ට්‍රම්ප් වෙළඳ යුද්ධය ප්‍රකාශ කිරීම නිසා චීනය තම වැසියන් ඇමෙරිකාවේ සංචාරය කිරීමට උනන්දු නොකිරීමටද වග බලාගත්තේය. ඒ අතරේ ඇමෙරිකාවේදී මිලදී ගන්නා අධි සුඛෝපභෝගී භාණ්ඩ වල බදු අඩු කරමින් චීනය තුළ ඒවා බහුල කිරීමටද චීන බලධාරීහු පියවර ගත්හ. මේ නිසා 2020දී අමෙරිකාවට එන චීන සංචාරකයන් තවත් අඩු වෙන්න නියමිතව තිබුණි. කොවිඩ් -19 තත්ත්වය නිසා එය විශාල ලෙස අඩු විය.

බයිඩන් පරිපාලනයට අවශ්‍ය වන්නේ යළිත් මේ සංචාරකයන් ආකර්ශනය කර ගැනීමයි. යුරෝපා රටවල්, චීනය සහ බ්‍රසීලය වැනි රටවලින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට දැන් ඇමරිකාව සූදානම්ය. දැන් ෆයිසර්, මොඩර්නා, සීනෝෆාම්, සිනොවැක්ස්, ඇස්ට්‍රාසෙනිකා මේ සියල්ල ඇමෙරිකාවට හොඳය. මාත්‍රා දෙකම ගත්තා නම් ප්‍රශ්නයක් නැත. ඇමෙරිකාව එන්නත් ටික විකුණාගැනීමද කළේය. දැන් සංචාරකයන් ගෙන්වා ගැනීමද කරයි. මේ වෙළඳ උපක්‍රමයට රැවටුණ අප වැනි රටවල අයට සිදුවූයේ කුමක්ද? ලැබෙන එන්නත ගසා ගන්නේ නැතිව ෆයිසර් එනතුරු සිටි කී දෙනෙකුටට කොවිඩ් -19 වැළදෙන්නට ඇතිද? චීන එන්නතේ වතුර කියූ කී දෙනෙකුට කොවිඩ්-19 වැළදෙන්නට ඇතිද? අප තවමත් තුන්වැනි ලෝකයේය. ඇමෙරිකාව, චීනය ආදී රටවල් සංවර්ධනය වූවා යැයි කියන්නේ මෙයයි. අප තේරුම් ගත යුත්තේ මේ වෙළඳමයි. එය තේරුම් නොගන්නා තාක් අප සුපිරි බලවතාගෙන් සුපිරි නිෂ්පාදන ලැබෙන තුරු ඇඟිලි ගණිමින් සිටිනු ඇත. නිරවි යුද්ධයෙන් පසුව ලෝකය වෙනස් වී බොහෝ කල්ය. තවදුරටත් ඇමෙරිකාව ලෝකයේ බලවතා නොවේ. එහෙත් අපේ බොහෝ දෙනා සංකල්පමය වශයෙන් තවමත් සිටින්නේ 1990 දශකයේය. එහෙයින්ම තවමත් ඇමෙරිකාව ගේම ගහයි. එය අපේ ගොන්කම පමණක් නොවේ. ඇමෙරිකාවේ දක්ෂතාවයයි. ඔවුන් තවමත් ලොව ප්‍රබලම රටක් වෙන්නේ මේ ගේම් එක හරියටට ගැහීම නිසාය. ඒ ක්‍රමය ඉගෙන ගත්තත් ලංකාවට ඇතිය.

- රවිදු ප්‍රනාන්දු

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top