Nov 08, 2021

රුවන්ගේ කටඋත්තරයෙන් දේශපාලඥයෝ පොලිස් ලොක්කෝ තැතිගනිති!

දෙමටගොඩ කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන අංගණය පිහිටා තිබීම නිසා ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මස්මඩුව පිහිටා තිබුණේ ද දෙමටගොඩ නිසා එයින් ද මේ ප්‍රදේශයට ප්‍රසිද්ධියක් ලැබී තිබුණේය.

එහෙත් මේ වන විට ඒ සියලූ දේ පරදා දෙමටගොඩ ප්‍රසිද්ධියට පත්වෙමින් තිබෙන්නේ පාතාල රාජධානියක් ලෙසය.

එහෙමත් නැත්නම් කුඩු ජාවාරම්කාරයන්ගේ අගනගරය ලෙස ය.

පාතාල ක්‍රියාකාරකම්වලින් සහ කුඩුවලින් මේ නගරය පෝෂණය කළේ දෙමටගොඩ චමින්ද සහ දෙමටගොඩ රුවන් යන දෙසොහොයුරන් බව නොරහසකි.

මේ සද්ගුණවත් දානපතීන් දෙදෙනා නිසා දෙමටගොඩ නගරය අද වන විට කොළඹ කුඩු රාජධානියේ අගනගරය බවට පත් වී හමාරය.

පාතාලයන්ගේ ප්‍රධාන පෙළේ බලකොටුව බවට පත්වී හමාරය.

පසුගිය 29 වැනිදා දෙමටගොඩ කුඩු රාජධානිය හිටි හැටියේම උණුසුම් වුණේය.

දන්නා කියන කාලයක මේ කුඩු රාජධානිය ආක්‍රමණය කිරීමට පොලිස් නිලධාරියකු තබා ග්‍රාම ආරක්‍ෂක නිලධාරියකුවත් දෙමටගොඩ හතර දිග්බාගයට ආවේ නැත.

ඒ තරමටම මේ කුඩු රාජධානිය දේශපාලනමය අතින් පොලිස් බලතලවලින් සන්නද්ධව තිබුණේය.

දෙමටගොඩ කුඩු රාජධානියේ මහරජා වූයේ දෙමටගොඩ රුවන්ය.

පසුගිය වසර දෙක තුනක කාලසීමාවේදී පමණක් දෙමටගොඩ රුවන් නමැති කුඩුරජා හෙරොයින් කිලෝ දහසක් එහෙමත් නැත්නම් හෙරොයින් ටොන් එකක් මෙරටට ගෙන්වා විකුණා තිබුණේය.

මේ ගණන් හිලව් කියන්නේ අපනොව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයයි. මත්ද්‍රව්‍ය නාශක අංශයේ ගණන් හිලව්වල සටහන් නොවූ මොනතරම් හෙරොයින් තොගයක් දෙමටගොඩ කුඩු රාජධානියේ අලෙවි වූවාදැයි අපි නොදනිමු.

හාස්‍යයට කරුණ වන්නේ කොළඹ ප්‍රධානම පෙළේ නගරයක සුවිසල් මන්දිර ඉදිකරගෙන වසර ගණනක් තිස්සේ හෙරොයින් ටොන් ගණන් අලෙවි කරමින් දෙමටගොඩ රුවන්ලා ගත කළ සුපිරි ජීවිත ගැන අපේ පොලිසියවත්, බුද්ධි අංශයවත් නොදැන සිටීමය.

පසුගිය 29 වැනිදා දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙමටගොඩ රුවන්ගේ මහා මන්දිරය වටකළෝය.

ඒ මේ කුඩු රාජධානිය වැටලූ මුල්ම අවස්ථාව ලෙස ඉතිහාස ගතවෙමින් ය.

වැටලීමට පැමිණ සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ස්ථාපිත කර තිබෙන නීති විරෝධී වත්කම් දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකි.

කුඩු රාජධානියේ කුඞ්ඩන්ගෙන් කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.

වැටලීම සිදුවන අවස්ථාවේ දෙමටගොඩ කුඩු රාජධානියේ අගරජු ලෙස සැලකෙන ‘දෙමටගොඩ රුවන්’ නමැති සිටුතුමා ද නිවසේ රැඳී සිටියේය.

දෙමටගොඩ වේළුවන ටෙරස්හි පිහිටි තුන්මහල් ප්‍රාසාදයක් වූ රුවන්ගේ වාසස්ථානය වෙත පොලිස් නිලධාරීන් කඩාවදිද්දී ඔහුට අයත් අතිසුඛෝපභෝගී බොහෝ වාහන එහි තිබුණේ නැත.

නිවස ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්‍ෂ 700ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය, බී – 8 වර්ගයේ ජීප් රථය, රුපියල් ලක්‍ෂ 450ක් වටිනා බී. එම්. ඩබ්ලිව්. අලූත්ම මාදිලියේ මෝටර් රථයක්, රුපියල් ලක්‍ෂ 300ක් වටිනා බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථයක් පොලිස් භාරයට ගනු ලැබීය.

රුවන්ගේ වත්කම් දැකීමෙන් පොලිස් නිලධාරීහු පවා අන්දමන්ද වී සිටියහ.

දශකයකට කලින් දෙමටගොඩ පොළේ කරපිංචා වික්කු රුවන්ලා...

මීට වසර දහයකට පහළොවකට උඩදී දෙමටගොඩ පොළේ කරපිංචා මිටි විකිණූ දෙමටගොඩ චමින්ද, දෙමටගොඩ රුවන් දෙසොහොයුරන් මේ තරම් කෙටි කාලයකදී ලක්‍ෂ හත්සීයේ අටසීයේ වාහන ගැනීමට තරම් පොහොසතුන් බවට පත්වීම පුදුමයට කරුණක් වන්නේය.

එදා රුවන්ලා, චමින්දලා සමඟ දෙමටගොඩ පොළේ කීර විකිණූ අප්පුහාමිලා, සෝමදාසලා අදත් කීර විකුණමින් එදාවේල පිරිමසා ගැනීමට සටන් කරමින් සිටිති.

එහෙත් කරපිංචා මිටි විකුණමින් ජීවිතය ගැටගහගන්නට වෙරදැරූ මේ දෙසොහොයුරන් අද කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වූ ආකාරය සැබැවින්ම ගැටලූවක් නොවන්නේ ද?

දෙමටගොඩ රුවන්ගේ සුවිසල් මැඳුරේ තිබූ වාහනවලට අමතරව රුපියල් කෝටි ගණනක් වටිනා රන් ආභරණ කිලෝග්‍රෑරෑම් එකහමාරක්, රුපියල් ලක්‍ෂ 50ක මුදලක්, පිස්තෝල 2ක්, වායු රයිෆල් එකක්, වායු පිස්තෝල එකක්, කඩු 3ක්, මුදල් ගණින යන්ත‍්‍රයක් 1000 සී. සී. වර්ගයේ යතුරුපැදියක් අත්අඩංගුවට පත්වුණේය.

රුපියල් කෝටි 20කට අධික වටිනාකමෙන් යුත් දේපොළක් ඒ වන විට රහස් පොලිසියේ නිලධාරීහු සිය භාරයට ගෙන සිටියහ.

මේ දේපොළ උපයා ගත් ආකාරයක් ගැන නිවැරදි තොරතුරු ලබාදීමට දෙමටගොඩ රුවන් සමත් වී තිබුණේ නැත.

ඒ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ ලියැවිලි සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරු වුණේය.

ඒ වන විට දෙමටගොඩ රුවන්ගේ කුඩු රාජධානියේ ලැගුම් ගෙන සිටි පුද්ගලයන් අටදෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්වූහ.

ඔවුන් අතර පාකිස්ථානු ජාතික යුවළක් ද සිටියහ.

දෙමටගොඩ රුවන්ගේ මාලිගාවෙන් අත්අඩංගුවට ගත් සුපිරි වාහන ඇතුළු දේපොළ රැගෙන යන ආකාරය මාධ්‍ය ඔස්සේ මුළුරටම බලා සිටියේ මහා කුතුහලයකින් යුතුවය.

මේ වන විට අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටියද මීට වසර දහයකට පහළොවකට උඩදී රුවන් ගත කළේ කටුක අමිහිරි ජීවිතයකි.

රුවන්ගේ මෙන්ම ඔහුගේ බාල සොහොයුරු වන චමින්දගේ පවුල අගහිඟකම්වලින් පිරුණු එකක් විය.

රුවන්ගේ මවට හරිහමන් රැකියාවක් තිබුණේ නැත.

රුවන්ලාගේ මාමා එහෙමත් නැත්නම් මවගේ බාල සොහොයුරා ලලිත් ය.

කසිප්පු වික්ක ලලිත් මාමා... අම්බිගාර්ගේ පාතාල ලෝකය...

දෙමටගොඩ මාළු වෙළෙඳපොළේ මාළු ලෑල්ලක් කරගෙන ගිය ලලිත් මාමා රුවන්ලාට, චමින්දලාට හැකි පමණින් ආධාර උපකාර කළේය.

මාළු විකිණීමට අමතරව ලලිත් මාමා දෙමටගොඩ රේල් පාරේ කසිප්පු වික්කේය.

කසිප්පු ව්‍යාපාරය ජයටම කරගෙන යෑමට ලලිත් මාමා සිය නැඟනියගේ දරුවන් දෙදෙනාවූ රුවන් සහ චමින්ද සම්බන්ධ කර ගත්තේය.

මේ කාල සීමාව වන විට දෙමටගොඩ බොරැල්ල ප්‍රදේශ පාතාල මැරයන්ගේ රාජධානියක් බවට පත්ව තිබුණේය. ‘අම්බිගාර්’ නමැති පාතාල මැරයා බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශ සිය පාතාල රජදහන බවට පත්කරගෙන සිටියේය.

ඒ වන විට තාරුණ්‍යයේ එළිපත්තේ සිටි රුවන්, චමින්ද දෙසොහොයුරන්ට මේ පාතාල උණ වැළඳී තිබිණි.

රුවන් සහ චමින්ද ‘අම්බිගාර්’ගේ පාතාල කල්ලියට සම්බන්ධ වන්නේ පාතාලයට තිබූ ප්‍රේමය නිසාමය.

අම්බිගාර්ගේ පාතාල කල්ලියට එක් වී පාතාලයේ අත්පොත් තැබූ රුවන් සහ චමින්ද දෙසොහොයුරෝ විවිධ අපරාධවල නිරත වන්නට පටන් ගත්හ.

ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් සිදුකළ ප්‍රහාරයකින් අම්බිගාර් අවසන් ගමන් ගියේය.

අම්බිගාර්ගේ කල්ලියට එක්වී සිටි රුවන් සහ චමින්ද දෙසොහොයුරන් නන්නත්තාර වූහ.

භාරත මරා මරණ දඬුවම් විඳින චමින්ද

ඒ වන විට භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර මහතා ප්‍රබල දේශපාලන චරිතයක් බවට පත්ව සිටියේය.

භාරත ලක්‍ෂ්මන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතුවලට කෙටි කාලයක් සම්බන්ධ වී සිටි චමින්ද සහ රුවන් දෙසොහොයුරන් පසු කලෙක ඔහුගෙන් ද ඈත් වූහ.

ඒ දුමින්ද සිල්වා කොලොන්නාව ආසන සංවිධායක ලෙස පත්වීමෙන් පසුවය.

භාරතගෙන් ඉවත් වූ මේ සොහොයුරන් දෙදෙනා දුමින්ද සිල්වාගේ දේශාපාලන වැඩවලට සම්බන්ධ වන්නේ එතැන් සිටය.

භාරත ලක්‍ෂ්මන් දුමින්ද සිල්වා ගැටෙන්නේ ඔය අතරතුරදීය. ගැටුම කෙළවර වන්නේ භාරත ලක්‍ෂ්මන් අවසන් ගමන් යෑමෙන් පසුවය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්‍ද්‍ර ඝාතන සිද්ධියට දෙමටගොඩ චමින්ද සම්බන්ධ වී සිටියේය.

භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද මේ වන විට මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි.

දෙමටගොඩ චමින්ද සිරගත වූ පසු දෙමටගොඩ පාතාල පුරයේ මෙන්ම කුඩු රාජධානියේ සියලූ බලතල දෙමටගොඩ රුවන් වෙත පැවරුණේය.

බන්ධනාගාරයේ සිට දෙමටගොඩ චමින්ද මේ සියලූ කටයුතු මෙහෙය වුවද දෙමටගොඩ නගරයේ චන්ඩියා බවට පත්ව සිටියේ රුවන් ය.

මහා පරිමාණ කුඩු ව්‍යාපාරයට අත ගැසූ දෙමටගොඩ රුවන් එය ඉතාම සැලසුම් සහගතව ක්‍රමානුකූලව කරගෙන ගියේය.

ඒ සඳහා දෙමටගොඩ චමින්දගෙන් මෙන්ම දේශපාලනඥයකුගෙන් ද ලැබුනේ නොමඳ සහායකි.

ආරංචි මාර්ග පවසන අන්දමට දෙමටගොඩ රුවන් දෛනිකව අලෙවි කරන හෙරොයින් ප්‍රමාණය කිලෝ 4කට වැඩිය.

ඒ අනුව රුවන්ලාගේ දෛනික ආදායම රුපියල් කෝටි 4 ඉක්මවයි.

කොළඹ කිරුළපනයේ සිට මීගමුව දක්වාවූ ප්‍රදේශය පුරාම හෙරොයින් බෙදාහැරීමේ ආධිපත්‍යය තමන් වෙත නතුකර ගැනීමට දෙමටගොඩ රුවන්ට හැකි විය.

රුවන්ලාගේ කුඩු රාජධානියට ඇතුළුවීමට කිසිවකුත් උත්සාහ කළේ නැත.

දෙමටගොඩ රුවන් මෙහෙයවූ මේ කුඩු රාජධානියට ඇතුළුවී කුඩු ව්‍යාපාරය කිරීමට පිටස්තරයකු උත්සාහ කළේ නම් ඔහුට දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවුණේය.

ඒ තරමටම මේ කුඩු රාජධානිය බලවත් විය.

දෙමටගොඩ රුවන් රහසිගතව හෙරොයින් ජාවාරම කරගෙන ගිය අතර මුදල් උපයන ආකාරය පිටස්තර ලෝකයාට පෙන්වීමට වෙනත් පුංචි පුංචි ව්‍යාපාර කීපයක් පවත්වාගෙන ගියේය.

කැරොකේ එකට රිංගූ පොලිස්කාරයෝ..

දෙමටගොඩ හන්දියේ රාත්‍රී සමාජශාලාවක්, රෙස්ටුරන්ට් එකක්, කැරෝකේ අවන්හලක් පවත්වාගෙන ගිය රුවන් ඒ හරහා මහා ධනස්කන්ධයක් උපයන බව ලෝකයාට පෙන්නුවේය.

මේ කැරෝකේ අවන්හලට වැඩිපුරම රිංගුවේ පොලිසියේ නිලධාරීන්ය එමෙන්ම පොලිස් නිලධාරින්ගේ හිතවතුන්ය.

රුවන්ගේ මේ ගුබ්බෑයම්වලට රිංගන පොලිස් නිලධාරීන් ඔහු මහා පරිමාණයෙන් කරන කුඩු ව්‍යාපාරය ගැන නොදැන සිටීම පුදුමයට කරුණකි.

පොලිසියේ ලොක්කන්ට නොමිලයේ සියලූ සැප සම්පත් ලබාදී ඔවුන් සතුටුකර දෙමටගොඩ රුවන් සිය ජාවාරම ජයටම කරගෙන ගියේය.

ඊට අමතරව මුදල් පොලියට දීම, දෙමටගොඩ නගරයේ වෙළෙඳසල් කීපයක් මිලට ගෙන ඒවා පවත්වාගෙන යෑම, දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු ලෑලි කීපයක් පවත්වාගෙන යෑම වැනි පුංචි පුංචි ව්‍යාපාර කරගෙන ගියේ ඔහු සිදුකරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වූ මත්කුඩු ජාවාරම ලෝකයටම වසන් කිරීම සඳහා ය.

කොළඹ පොලිස් ස්ථානවල ලොක්කන් පොඞ්ඩන් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන් සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ දුක සැප බලමින් සිය කුඩු ව්‍යාපාරය ජයටම කරගෙන යෑමට දෙමටගොඩ රුවන්ට හැකිවිය.

රුවන් ගැන ඔත්තුව දුන්නේ ඉන්දියාව..

දෙමටගොඩ රුවන් නමැති මත්ද්‍රව්‍ය රජු පිළිබඳව තොරතුරක් මුලින්ම ලැබෙන්නේ ඉන්දීය බුද්ධි අංශ හරහා ය.

ඒ ඉකුත් අප්‍රේල් මාසයේ 10 වැනිදා ය. ඉන්දීය වෙරළ ආරක්‍ෂක බළකාය විසින් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගත්හ.

රුපියල් කෝටි 340ක හෙරොයින් සමඟ ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ඉන්දීය වෙරළ ආරක්‍ෂක බළකාය භාරයට ගත් අතර පසුව ඔවුන් ඉන්දීය බුද්ධි අංශ වෙත භාර කෙරුණේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය.

අත්අඩංගුවට පත් වූ කුඩු ජාවාරම්කාරයන් පස්දෙනාගෙන් ප්‍රශ්න කළ ඉන්දීය බුද්ධි අංශ මේ කුඩු තොගය දෙමටගොඩ රුවන් නමැති මහා පරිමාණ ජාවාරම්කරුවකුට අයත් ඒවා බව හෙළිකර ගත්හ.

පසුව ඉන්දීය පොලිස් බුද්ධි අංශ මගින් මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත දැනුම් දීමක් කර තිබුණේය.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ මත්ද්‍රව්‍ය නාශක අංශය මේ කුඩු ජාලයට සම්බන්ධ මෙරට ප්‍රධාන පෙළේ ජාවාරම්කාරයන් කීපදෙනෙකුම අත්අඩංගුවට ගත්හ.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ රුවන්ගේ පැටිකිරිය එළියට එන්නට පටන් ගත්තේය.

පසුගිය සිව් වසරක් පුරා හෙරොයින් ටොන් ගණනක් දෙමටගොඩ රුවන් විසින් ශ්‍රී ලංකාවට ආනයනය කළ ආකාරය හෙළිවන්නට පටන් ගත්තේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය දෙමටගොඩ රුවන් අත්අඩංගුවට ගැනීමට පෙර මාස කීපයක් තිස්සේ ඔහු ලූහුබඳින්නට විය.

එසේ කළේ කුඩු තොගයක් සමඟ රුවන් අත්අඩංගුවට ගැනීමේ බලාපොරොත්තු ඇතිවය.

එහෙත් රුවන් පොලිස් බුද්ධි අංශවලට වඩා සූක්‍ෂ්මව වැඩ කළ ජාවාරම්කාරයෙකි.

දෙමටගොඩ රුවන් හෙරොයින් අල්පෙනිති තුඩක පමණ ප්‍රමාණයක්වත් ළඟ තබාගත්තේ නැත.

හෙරොයින් ටොන් ගණනින් ඔහු අලෙවි කළේ ගෝලයන් හරහා ය.

හෙරොයින් සමඟ රුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථක නොවූ නිසා නීති විරෝධී වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක අංශය සැලසුම් කළේය.

ඒ සඳහා නීතිමය හැකියාව මෙන්ම ප්‍රතිපාදන තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබූ නීතිවිරෝධී වත්කම් දේපොළ පිළිබඳ විමර්ශනය කිරීමේ කොට්ඨාශය වෙතය.

මත්ද්‍රව්‍ය නාශක අංශය රුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම එම ඒකකය වෙත භාරදෙන්නේ ඉන් අනතුරුවය.

ඔහු ළඟ ඇල්පෙනෙති තුඩක තරම් හෝ කුඩු නෑ

අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කෙරිණි.

වසර ගණනක් තිස්සේ හෙරොයින් ටොන් ගණනින් ශ්‍රී ලංකාවට ආනයනය කළ ද රුවන් අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව අල්පෙනිති තුඩක තරම්වත් හෙරොයින් ප්‍රමාණයක් නොතිබිණි.

ඒ නිසා දෙමටගොඩ රුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් ඉපයූ ආකාරයක් හෙළිකළ නොහැකි වත්කම් ඔහු සන්තකයේ තබාගෙන සිටීමටය.

රුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ද ඔහුට අයත් රුපියල් ලක්‍ෂ 720ක් පමණ වටිනා අති සුඛෝපභෝගී වාහන දෙකක් රහස් පොලිසිය සොයා ගත්තේය.

දෙමටගොඩ රුවන්ගේ ආදරණීය සොහොයුරා වන බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගේ බිරිඳ සන්තකයේ තිබී රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් සහ මෝටර් රථයක් ද රහස් පොලිසිය සොයා ගත්තේය.

දෙමටගොඩ රුවනට පමණක් නොව ඔහුගේ බාල සොහොයුරා වන බන්ධනාගාරගතව සිටින චමින්දටද මහා වත්කමක් ඇති බව පොලිසිය මේ වන විට සොයාගෙන තිබෙයි.

දෙමටගොඩ චමින්දට ද සිය වැඩිමහල් සොහොයුරාට මෙන් තුන්මහල් ප්‍රාසාදයක් හිමිය.

එය පිහිටා තිබෙන්නේද දෙමටගොඩ නගර මධ්‍යයේ ය.

මේ දෙසොහොයුරන්ට ඇති වත්කම් දේපොළ ප්‍රමාණය කොතෙක් දැයි ගණනය කළ නොහැකි තරම් ය.

එය පවසන්නේ අප නොව විමර්ශන කණ්ඩායම්ය.

රටේ අහිංසක තරුණයන්ට මත්කුඩු පොවා උන් නන්නත්තාර කර අති සුඛෝපභෝගි ජීවිත ගතකළ රුවන් සමාජයේ ජීවත්වුණේ සිටුවරයකු ලෙස ය.

දෙමටගොඩ රුවන් සහ චමින්ද සොහොයුරන් පවත්වාගෙන ගිය පාතාල කුඩු රාජධානිය ගැන කතා කරද්දී දෙමටගොඩ පොලිසිය ගැන කතා නොකරම බැරිය.

දෙමටගොඩ පොලිසියේ බොහෝ නිලධාරීන් යැපුණේ රුවන්ගෙන් ය.

ඒ වෙනුවෙන් එසේ යැපුණු නිලධාරීන් බොහෝ යුතුකම් දෙමටගොඩ රුවන් වෙත ඉටු කළේය. දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයාට ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා ස්වයංක්‍රීය පිස්තෝලයක් ලබාගැනීමට පවා පොලිසිය අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබුණේය.

රුවන්ගේ පුත්‍රයාට පිස්තෝලයක් ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදෙමින් දෙමටගොඩ පොලිසිය උසස් නිලධාරීන් වෙත ලියකියවිලි පවා ඉදිරිපත් කර තිබුණේ රුවන්ලාට, චමින්දලාට දැක්වූ ළෙන්ගතුකම ගෞරවය නිසා විය යුතුය.

හෙරොයින් ටොන් ගණනින් ගෙන්වා රටේ තරුණ පරපුර විනාශ කර දමමින් සිටුවරුන් ලෙස ජීවත්වන මෙවැනි නරුමයන්ට එරෙහිව සැබැවින් ම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

පොලිස් වාර්තා ඇසුරෙන් ලිපිය සකස් කරන ලදි.

(දිවයින)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top