Dec 14, 2021

ඉන්දියාව හා අලුත් ගමනේ පහසුව තීන්දු කරන්නේ චීනයයි - කුසල් පෙරේරා

ඉන්දියානු ප්‍රධාන ධාරාවේ පුවත් පතක් වන “ද ඉකොනොමික් ටයිම්ස්” පුවත් පත පසුගිය දෙසැම්බර 11 වන දින ප්‍රධාන සිරස් තලය ලෙස යොදා ගෙන තිබුණේ “ලංකාවට අර්බූදය වාව ගැනීමට හැකි හදිසි ආර්ථික ආධාර මල්ලක් ඉන්දියාව සැළසුම් කරයි” යන්න ය. එහි පළමු පරිච්ඡේදය වූයේ, “ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බූදය වාව ගැනීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ නව දිල්ලි ගමනින් පසු එරටට උදව් කිරීමේ හදිසි කාර්යක් ලෙස ඉන්දියාව ආධාර මල්ලක් සැළසුම් කරන්නේය” යන්නය.

වැදගත්ම කාරණාව නම්, එය “සෞඛ්‍ය හා ආහාර සුරක්ෂාව” සඳහාවන අතරම, බලශක්ති සුරක්ෂාවද මුදල් හුවමාරුවක්ද ඊට ඇතුළත් කර තිබීම ය. එවගේම ඉන්දියානු ආයෝජන උනන්දු කරවීමක්ද බලාපොරොත්තුවන බව ඉන්දීය රාජ්‍ය බලධාරීන් පුවත් පතට පැවසු බවද එහි සඳහන්ව තිබිණ.

“සෞඛ්‍ය හා ආහාර සුරක්ෂාව” සඳහා ආහාර, ඖෂධ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් මිලට ගැනීම සඳහා ණය පිවිසුමක් සහතික කර ඇත. “බලශක්ති සුරක්ෂාව” සඳහාද ඉන්දියාවෙන් ඉන්ධන මිලට ගැනීම සඳහා එවැනිම ණය පිවිසුමක් විවෘත කර ඇත. එවගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය නොපමාව “නවීකරණය” (අලුත්වැඩියා නොවේ) කිරීමත් ඊට ඇතුළත් වන්නේය. විවිධ ක්ෂේත්‍රයන්හි ඉන්දියානු ආයෝජන දිරි ගැන්වීම් මගින් රැකියා උත්පාදනයද අපේක්ෂා කෙරෙන බව ඉන්දියානු බලධාරීන් කියූ බවත් සඳහන් වන්නේය.

පසුගිය දිනවල බැසිල් රාජපක්ෂගේ එම ඉන්දියානු සංචාරය විපක්ෂය අර්ථ ගැන්වූයේ ඉන්දියානු අගමැති මෝඩි විසින් නොසළකා හැරි අසාර්ථක සංචාරයක් වශයෙනි. සමාජ මාධ්‍ය ජාලයන්හි එය වැසිකිළි විවෘත කිරීමේ සංචාරයක් ලෙස අපහාසාත්මක සටහන්ද තැබිණ. එහෙත් “ද ඉකොනොමික් ටයිම්ස්” පුවත් පතට අනුව බැසිල්ගේ නව දිල්ලි සංචාරය රාජපක්ෂ ආණ්ඩුව තවත් වසරක් ගොඩ දැමූවකි.

මේ රටේ ජනතාව විවිධ විරෝධතාවන් සඳහා පාරට පැමිණියේ “ලබන වසරේ ණය ගෙවීමේ ගැටළුවට විසඳුම් ඉල්ලා” නොවේ. ඒ විරෝධතා මූලික වශයෙන් ආහාර මිල ඉහළ යෑම් සමග ඇතිවූ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවීම හේතුවෙන් විය. ඖෂධ මිල ඉහළ යාමත් ඉන්ධන හිඟයත් ඒ හා දැඩිව ගැට ගැසී තිබිණ. විදේශ ණය හා භාණ්ඩ මිල ඉහළ යාමත් භාණ්ඩ හිඟයත් 2022 වසර මේ රාජපක්ෂ ආණ්ඩුව බරපතල හෙයියම්මාරුවකට හසු කරනු ඇතැයි විපක්ෂයේ ආර්ථික විශේෂඥයෝ කීහ. පවතින තත්ත්වයන් හමුවේ එය නියත යථාර්තය විය.

එබැවින් විදේශ ණය ගෙවීමට ප්‍රථම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම මේ ආණ්ඩුවට ආර්ථිකය පිළිසකර කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වූවකි. සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් බැසිල් ගේ සූත්‍රයෙහි ත්‍රිත්වය වන “ආහාර, ඖෂධ හා ඉන්ධන” මූලික වන බැව් සාමාන්‍ය දැනුම අනුව කිව හැක්කකි.

සැබෑ කතාව නම්, එවැනි ආධාර මල්ලක් චීනයෙන් කිසිදු රටකට ලබා දී නොමැති වීමය. එබැවින් භූ-දේශපාලන සිතියමෙහි චීන වපසරිය මඳකට සීමා කර, ඉන්දියාවෙන් ඒ ආධාර මල්ල ලබා ගැනීමට බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වශයෙන් සමත්ව ඇත. එම “ආධාර සැළසුම” ක්‍රියාත්මක කිරීමේ දෙපාර්ශවය සතු වගකීම් සම්බන්ධීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ සමග ඉන්දියානු මුදල් ඇමතිනි නිර්මලා සිතාරමන් හා විදේශ කටයුතු ඇමති එස්. ජයිශන්කර්, ද්වි-පාර්ශවිය ඇමති ත්‍රිත්වයක් ලෙස කටයුතු කරනු ඇත.

මේ සියල්ල සමග යාපනයේ නෙඩන්තීවු (ඩෙල්ෆ්ට්), නයිනතීවු හා අනලෛයිතීවු දූපත්වල දෙමුහුන් පුණර්ජීවි බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සයිනොසොආ-එචිට්වින් සමාගමට 2021 ජනවාරියේදී ලබා දුන් කැබිනට් අනුමැතිය අනුව ආරම්භකර තිබූ ඉදිකිරීම් හදිසියේ අත්හිටුවා මාලදිවයින සමග එවැනිම ව්‍යාපෘතියක් සඳහා පසුගිය නොවැම්බර 29 වන දින චීනය අත්සන් තැබීම සළකා බැලීම වටින්නේය. කොළඹ චීන තානාපති කාර්යාලය නිල “ට්විට” පණිවුඩයකින් එදින ප්‍රසිද්ධ කළ එම පුවතට අනුව යාපනයේ දූපත්වල ආරම්භ කළ ව්‍යාපෘතිය අත්හිටුවන්නට හේතුවී ඇත්තේ “තෙවන පාර්ශවයක් විසින් මතු කළ ආරක්ෂක හේතුන්ය”.

ඉන්දියාවට ත්‍රිකුණාමලයේ චීන වරායේ ඇති තෙල් ටැංකි නවීකරණය සඳහා ලබා දෙන්නට ඇති එකඟතාවය, චීන තානාපති කාර්යාලය පවසන තෙවන පාර්ශවය කවරෙක්දැයි සිතීමට පහසුවකි. අළුත්වැඩියාවක් වෙනුවට නවීකරණය යැයි කී විට, ඉන් අර්ථ ගැන්වෙන්නේ එම තෙල් ටැංකි සමූහය ත්‍රිකුණාමල වරාය සමගින් නවීන තාක්ෂණය ඔස්සේ යා කිරීමකි. ඇත්තෙන්ම එම තෙල් ටැංකි නවීකරණය කෙරෙන්නේ නම්, ඒවා ත්‍රිකුණාමල වරායේ පර්යන්ත පහසුකම් ලෙස නවීකරණය කළ යුතු වේ. නොඑසේ නම් ඉන් ප්‍රයෝජනයක් නැත. එබැවින් ඉන්දියාවට එවැනි වාසියක් එහි තිබිය යුතුය.

මේ ඉන්දියානු ආධාර මල්ල සැළසුම්වී ඇති අයුරු, අනුමානයකින් තොරව කිව හැක්කේ අපගේ භූ-දේශපාලන සිතියමෙහි චීනය සතුවූ නිදහස් ආගමනයට සැළකිය යුතු සීමාවන් පැටවී ඇති බවය. ත්‍රිකුණාමලයද සමග උතුරුකරයේ චීන සම්ප්‍රාප්තිය ඉන් ඇණහිටුවා ඇත. ඉන් ඇතිවන ඉඩ ප්‍රස්තා වෙනුවෙන් ඉන්දියානු ආයෝජකයින් පැමිණීම ඉන්දියානු ආධාර මල්ලේ වැදගත් පිවිසුමකි.

දැන් චීන-ලංකා මිත්‍රත්වය අර්ථ ගැන්විය හැක්කේ කෙසේද? මේවන විට, යාපනයේ දූපත්වල ඉදි කරන්නට තිබූ දෙමුහුන් පුණර්ජීවි බලශක්ති ව්‍යාපෘතිය නවතා දැමීමට අමතරව, චීන පොහොර නැව හරවා යවනු ලැබූයේ ලොකු ආරවුලක් සමගින්ය. එය කෙළවර වූයේ ලංකාණ්ඩුව චීන සමාගමට වන්දියක් ගෙවීමෙනි. කොළඹ වරාය නගරය ආසන්නයේ නැගෙනහිර බහලුම් තටාකය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග ලංකාණ්ඩුව ඇතිකරගත් අමනාපය, ඉන්දියානු අඩානි සමාගමට බටහිර බහලුම් තටාකය ලබාදී සමනය කෙරුණි.

එනමුත් චීන ණය ගැටයට හසුව ඇති රටවල් ගැන කෙරෙන කතා බහේ ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ චීන ණය බරින් කුදු ගැසුණු පෙරටුවෙන්ම ඉන්නා රටක් හැටියටය. එහෙත් එය ඇත්තම තත්ත්වය නොවේ. එහි තිබූයේ මානව හිමිකම් තලා දමමින් බරපතල දූෂණ සමග ගමන් ගිය ආණ්ඩු පාලන සඳහා චීන රජය ණය ලබා ගැනීමේ සහ කොන්තරාත් කිරීමේ පහසු ගනුදෙනුකරුවකු වූ හේතුව පමණි. පසුගිය අප්‍රේල් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය වූ ඇ.ඩොලර බිලියන 49.2 න් සියයට 47 ක් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඥපල වලට, සියයට 22 ක් බහු පාර්ශවීය සංවර්ධන බැංකු වලට, සහ සියයට 10 ක් ජපානයට වූ විට චීනයට ණය තිබූයේ සියයට 10 ක් පමණි.

එළෙසින් අවසන් කෙරෙන 2021 වසර සමග 2022 වසර සඳහා රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා අලුත් ගමනකට මුල පුරා ඇත. එය කෙතරම් පහසු ගමනක් වන්නේද යන්න තීන්දු කරනු ඇත්තේ ඉන්දියාවට වඩා චීන රජය වනු ඇත. ණය ප්‍රතිශතය සියයට 10 ක් වූවත් ඔවුන් ගනු දෙනු කරන්නේ පොහොර නැව වෙනුවෙන් ගනු දෙනු කළ ආකාරයට විය හැකි හෙයිනි.

කුසල් පෙරේරා
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා දේශපාලන විචාරක
2021 දෙසැම්බර 13 වන දින

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top