Jan 09, 2022

චීන-ලංකා යාළුකමේ තීරණාත්මක සන්ධිය, 70 සහල්-රබර් ගිවිසුම!

චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ‍ඵෙතිහාසික මිත්‍ර සම්බන්ධතාවයක් දක්නට ලැබෙන අතර සමුද්‍ර සේද මාවත දෙරට අතර ඇති සංස්කෘතික, ආගමික, ආර්ථික හා වෙළඳ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රවල වසර දහස් ගණනකට වඩා තිබූ ක්‍රියාකාරකම්වල හුවමාරුව විදහා දක්වයි.

උදාහරණ ලෙස 5 වන සියවසෙහි මුල් කාලයේදී ෆාෂියැන් භික්ෂුව විවිධ දුෂ්කරතා සහ බාධක කම්කටොළු ඔස්සේ ශ්‍රී ලංකාවට වැඩමකර, වසර 2ක පමණ කාලයක් ලංකාවේ වැඩවාසය කර ඇත.

නැවත සිය මවුබිමට වැඩමකිරීමෙන් අනතුරුව රචිත “බුද්ධ රාජධානියේ මතක සටහන්” නැමති කෘතියේ ශ්‍රී ලංකාව පිළිබඳ වටිනා ඵෙතිහාසික කරුණු රාශියක් වාර්තා කර ඇත.

එමෙන්ම 5වන සියවසේදීම ශ්‍රී ලාංකික භික්ෂුණියක වූ “දේවසාරා” විසින් චීන දේශයට භික්ෂුණී උපසම්පදාව හඳුන්වා දීමද තවත් ‍ඵෙතිහාසික සිද්ධියක් වන අතර එමඟින් චීනයේ භික්ෂුණි ශාසනය ආරම්භ වූ බව ඵෙතිහාසික වාර්තාවන්හි දැක්වේ.

7වන සියවසේදී ශුවැන් ත්සං විසින් රචිත “තං අධිරාජ්‍යයේ බටහිර දේශ සටහන්” නැමති ග්‍රන්ථයෙන් “සීහළ රාජධානිය” පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව දැක්වේ. මිං රාජවංශයේ ජෙංහ’ ගේ බටහිර මුහුදු සංචාරවලදී ද ශ්‍රී ලංකාවට කිහිපවිටක් පැමිණ ඇති අතර එම පැමිණීම් සනිටුහන් කිරීම සඳහා ස්මාරක පිහිටුවා ඇත.

මෙම ස්මාරක දෙරට අතර මිත්‍රත්වයට සාක්ෂි දරණ ඓතිහාසික වස්තුවක් ලෙස දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා නූතනයේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින අතර 1957 වර්ෂයේදී දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූ අතර අද වන විට එම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 65ක් සම්පූර්ණ තිබේ.

දෙරට අතර ඇති සමකාලීන සබඳතා “විශාල සහ කුඩා රටවල් අතර මිත්‍රශීලී සහජීවනයේ ආදර්ශයක්” ලෙස එක් වාක්‍යයකින් උපුටා දැක්විය හැකිය.

දෙරට අතර පවතින සහයෝගිත්වයේ ජයග්‍රහනය අත්පත් කරගෙන ඇත්තේ, සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන පදනම මතයි.

සමකාලීන චීන-ශ්‍රී ලංකා සබඳතාවල ඓතිහාසික සිදුවීම් පිළිබඳ විමසීමේදී, සහල්-රබර් ගිවිසුම අත්සන් කිරීම විශේෂයෙන් වැදගත් වන අතර එය දෙරට අතර පවතින සමකාලීන ද්විපාර්ශ්වික මිත්‍ර සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් දැක්විය හැකිය.

1950 වර්ෂයේ පූර්ව භාගයේ නව චීනය පිහිටුවීමෙන් නොබෝ කලකට පසු, ශ්‍රී ලංකා රජය චීන මහජන සමූහාණ්ඩුව පිළිගැනීම ප්‍රකාශයට පත් කළේය.

1952 දී කොරියානු යුද-ගිණි ඇවිලෙමින් තිබියදී, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රාශියක් නව චීනයට වෙළඳ සම්බාධක පනවා තිබුණද, “චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර පස් අවුරුදු සහල්-රබර් වෙළඳ ගිවිසුම” අත්සන් කිරීමට චීන සහ ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

එකල පැවති ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය යටතේ සමාජවාදී චීනය සමඟ ශ්‍රී ලංකා ජන රජය ගිවිසුමක් අත්සන් කිරීමේ තීරණය ගැනීම පහසු නොවූයේ, එය දෙස්-විදෙස් බාධක රාශියක් බිඳ දමා යාමක් වූ හෙයිනි.

චීන මහජන සමූහාණ්ඩුව සහ ලංකා රජය එවකට පැවති ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය යටතේ සමාජවාදී චීනය සමඟ ගිවිසුම අත්සන් කිරීමේදී විශේෂයෙන් එම තීරණය ගැනීම ශ්‍රී ලංකාවට පහසු නොවීය.

එය දෙස් විදෙස් බාධක රැසක් මැදින් පැමිණි බව කිව හැකිය.

2022 වර්ෂය වන විට ගිවිසුම අත්සන් කර වසර 70ක් ගත වී ඇත.

1952 rr deal

සහල්-රබර් ගිවිසුම වාණිජ වෙළඳ ගිවිසුමක් පමණක් නොව, චීනය සහ ශ්‍රී ලංකාව අතර සමකාලීන මිත්‍ර සබඳතා ප්‍රවර්ධනය කරන වැදගත් ලේඛනයක් ද වේ.

චීනය සම්බන්ධයෙන් සැලකීමේදී, සහල් රබර් ගිවිසුම අත්සන් කිරීම නව චීනයේ සංවර්ධනය මැඩපැවැත්වීමට එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් උත්සාහ කළ වෙළඳ තහනම බිඳ දැමීමට ඉවහල් වූවක් වශයෙන් සඳහන් කළ හැකි අතරම වටිනා උපාය මාර්ගික ආර්ථික භාණ්ඩ සඳහා ප්‍රවේශය ලබා ගැනීමටද එමඟින් අවස්ථාව ලැබීම එහි තවත් විශේෂත්වයකි.

එමෙන්ම, ශ්‍රී ලංකාවට එකල ජාත්‍යන්තර වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම සහ රබර් මිල කඩාවැටීම නිසා ඇති වූ උභතෝකෝටික ගැටළුව මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමඟින් බොහෝදුරට නිරාකරණය කරගැනීමටද හැකිවිය.

ජයග්‍රාහී සහයෝගීතාවය තුළින් දෙරට අතර මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමත්, පසුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස ස්ථාපිත කිරීම සඳහාත් අඩිතාලම දැමීම සමකාලීන චීන-ශ්‍රී ලංකා සබඳතා ඉතිහාසයේ ඵෙතිහාසික සිදුවීමකි.

සහල්-රබර් ගිවිසුමේ සිට පසුගිය වසර 70 තුළ චීනය සහ ශ්‍රී ලංකාව සමකාලීන මිත්‍ර සබඳතා වර්ධනය කිරීමෙහිලා වැදගත් සිදුවීම් මාලාවක් ඒකාබද්ධව සිදුකොට ඇත.

1957 වර්ෂයේදී අග්‍රාමාත්‍ය ජොව් අන්ලැයි ශ්‍රී ලංකාවට සපැමිණ නිදහස් චතුරශ්‍රයේ වර්ෂාව මධ්‍යයේ දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත්ව ස්ථාපිත කිරීමේ නිවේදනය නිකුත් කළේය.

අගමැති ජොව් අන්ලැයි පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉංග්‍රීසි පරිවර්තකයෙකු වන ජෙං යුජොං සිංහල භාෂාව අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට එවීමටද කටයුතු කළේය.

බණ්ඩාරනායක මැතිනිය සිය පාලන සමයේදී චීනයට බොහෝ වාරයක් සංචාරය කළ අතර මාඕ සේතුං මැතිතුමා සහ අගමැති ජොව් අන්ලැයි ලංකාව සමඟ ගැඹුරු මිත්‍රත්වයක් ඇති කළහ.

1972 දී බණ්ඩාරනායක මැතිනිය විසින් චීන ජනතාවට පිරිනැමූ “මිතුරා” නම් අලි පැටවා චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සුන්දර සංකේතයක් බවට පත් විය.

චීන ආධාර වලින් ඉදිකළ “බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව” ශ්‍රී ලංකාවේ වැදගත් නිර්මාණයක් බවට පත්ව ඇත.

2014 වසරේ ෂී ජින්පිං ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට පැමිණ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා වූ රාජපක්ෂ මහතා සමඟ කොළඹ වරාය නගරය ඉදිකිරීමේ මුල්ගල තැබුවේය.

අද වන විට කොළඹ වරාය නගරයේ අත්තිවාරම ඉදිකර ඇති අතර එය නොදුරු අනාගතයේදීම සමස්ත ඉන්දීය සාගර කලාපයේ සුන්දරම නාගරික භූ දර්ශනය බවට පත්වනු ඇත.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය උදෙසා චීන-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කරන සියලුම දෙනා අපේක්ෂා කරනුයේ “එක් තීරයක් - එක් මාවතක්” යන තේමාව යටතේ, ශ්‍රී ලංකාව සිය යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව සංවර්ධනය කර ජාත්‍යන්තර වෙළඳාම සහ සැපයුම් සඳහා වැදගත් දොරටුවක් බවට පත්වීමයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා විශ්වාස කරන්නේ වසංගත දුරුකිරීම, ආර්ථික සහයෝගීතාවය සහ සංස්කෘතික හුවමාරුව වැනි විවිධ ක්ෂේත්‍රවල නව පරිච්ඡේද ලිවීමට චීනය සහ ශ්‍රී ලංකාව එක්ව අත්වැල් බැඳගෙන අඛණ්ඩව කටයුතු කරගෙන යනු ඇති බවයි.

තොං ජියාංමොං
බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්ව විද්‍යාලය -
චීනයේ දකුණු ආසියානු භාෂා සංගමයේ උප සභාපති - කතෘ

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top