Mar 07, 2022

ලෙදර් පන්දුවෙන් වැඩ පෙන්වූ ඉන්ද්‍රජාලිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික විශිෂ්ඨයෙකු වන ෂේන් වෝන්, නිවාඩුවක් ගත කරමින් සිටියදී තායිලන්තයේ කෝ සමූයි හිදී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 52  වියෙහි පසුවිය.

රොයිටර් පුවත් සේවයට අනුව, තායි පොලිසිය පැවසුවේ වෝන් සහ තවත් මිතුරන් තිදෙනෙකු නිවාඩුවක් ගත කිරීම සඳහා පෞද්ගලික විලාවක නැවතී සිටි බවත්, ඔහු රාත්‍රී ආහාරය සඳහා නොපැමිණීම නිසා ඔවුන්ගෙන් එක් අයෙකු ඔහු ගැන විමසීමට ගිය බවත්ය. වොන්ගේ මිතුරා එම ස්ථානයට පැමිණෙන විට ඔහු සිහිසුන්ව සිටිබවත් පසුව ගිලන්රථයකට අමතා රෝහලකට රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු මියගොස් ඇත.

"වෝනි", ඔහු ක්‍රිකට් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූවා පමණක් නොව, 1990 දශකයේ මුල් භාගයේදී  පා දඟ පන්දුවේ කලාව ලොවට කී ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂි සලකුණක් ලෙස සඳහන් කළ හැකිය.

ටෙස්ට් කඩුලු 708කට හිමිකම් කී ඔහු, 1999 වසරේ එක්දින ලෝක කුසලාන ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයෙක්ද විය.

විස්ඩන් සඟරාවේ ශතවර්ෂයේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කෙරුණු වෝන්, වසර 1992 සහ 2007 දක්වා වසර 15ක කාලයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේය.

පකිස්තානයේ අබ්දුල් කදීර් වැනි ප්‍රවීනයන් පා දඟ පන්දුව නම් කලාවේ මූලයන්හි සිටියද, දුඹුරු හිසකෙස්  ඇති මෙම වොන් නැමැති තරුණ ක්‍රීඩකයා තරම් එම පන්දුව ඉතා විශිෂ්ඨ ලෙස පිටියේදී යොදා ගත්තකු නොමැති තරම්ය.

කෙසේ වෙතත්,  පුරාවෘත්තයක් බඳු වෝන්ගේ ගමන වඩාත් තහවුරු කළේ 1993 අලු බඳුන තරඟවලියයි. එම තරගාවලියේ අතරතුර වෝන් මයික් ගැටින්ට යැවූ පන්දුවක් පා ඉන්නෙන් අඩි දෙකකටත් එපිටින් පතිතවී දඟකැවී පිට ඉන්නේ ඉහළ කෙළවරේ වදිමින් ලොවපුරා ක්‍රීඩාලෝලීන් මවිතයට පත්කලේ එය ශතවර්ශයේ පන්දුව බවට විරුදාවලිය ලබමින්ය. එවැනි තියුණු දඟ කැවීමක් වෝන්ගේ පන්දුවේ පැවතීම ඔහුගේ හොඳම ආයුදය බවට පත්ව තිබිණි. ඇතැම්විට වෝන් විසින් පා ඉන්න දෙසින් යොමුකරන පන්ඳු පවා නිදැල්ලේ යාමට එකල පිතිකරුවන් බියක් දැක්වූයේ එවැනි පන්දු බොහෝවිට කඩුල්ල හෝ පා ආවරණය සොයා පැමිණෙන බැවින් ය.

එසේම 2005 අළුබඳුන තරඟාවලියේදී වෝන් විසින් කඩුලු 40ක් දවාගෙන තැබූ ඉතිහාසගත වාර්තාව තරඟාවලියකදි ඔහු ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද සනිටහුන් කරනු ලැබීය.

කෙසේවෙතත් 2003 වසරේදී පන්දු වාර 50  ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී  තහනම් උත්තේජක ලබා ගත්බවට චෝදනා ලැබ වෝන්ට වසරක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් විය. එම අවස්ථවේදී ඔහු කියා සිටියේ තමන්ගේ බර අඩු කර ගැනීම සඳහා මව විසින් උදව් කිරීමේ අරමුණින් ඒවා තමන්ට දුන් බවයි.

කෙසේවෙතත් වසරක ක්‍රිකට් තහනමින් පසුව වෝන් නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණියේ ඔහු 2004 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව  සමග වූ තරගාවලිය 3-0 ලෙස ජය ගනිමිනි. එහිදී ඔහු කඩුලු 5 ලබා ගන්නා ලදී. එසේම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පැවති ටෙස්ට් තරඟාවලියේදී ද වෝන්ගේ කාර්යභාරය ඉතා ඉහළින් කැපී පෙනිනි.

2006-07 අළු බඳුනේදී  දස්කම් දක්වමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් වෝන් ඔහුගේ දිගු කාලීන පන්දු යැවීමේ සගයා වූ ග්ලෙන් මැග්‍රාත් සමඟ පිටියෙන් ඉවත් විය.  එහිදී අළු බඳුන තරගාවලිය  5-0 පූර්ණ තරගාවලි පරාජකට (Whitewash) එංගලන්තයට මුහුණ දීමට සිදුවූයේ  1920 පසු පළමු වතාවටය.  

වෝන් වයස අවුරුදු 37 දී  2008 වසරේදී , ඉන්දීය ප්‍රිමියර් ලීගයේ (IPL) ආරම්භයේදී රාජස්ථාන් රෝයල්ස් විසින් ඔවුන්ගේ නායකත්වයට වොන්ව බඳවා ගන්නා ලද ලදී. ඒ වනවිට රාජස්තාන් රෝයල් කණ්ඩායමට පුහුණුකරුවකු මිලදී ගැනීමට හැකියාවක් තිබුණේ නැත. වෝන් නායකත්වය මෙන්ම සිය කණ්ඩායමෙ වෙනුවෙන් පුහුණුකරු ලෙසද ක්‍රියා කළේය. 

විශ්‍රාම යාමේදී, වෝන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ ෆොක්ස් ස්පෝර්ට්ස් චැනලයේ ප්‍රබල විස්තර විචාරකයෙකු බවට පත් විය. සෑම විටම තීක්ෂ්ණ බුද්ධියක් ඇති වෝන් කාඩ් ක්‍රීඩාවේ නිරත විය. කාඩ් ක්‍රීඩාවේ යෙදෙද්දී  මනස හොඳින් ක්‍රියා කරනවා යැයි ඔහු කීප විටක්ම පවසා ඇත.  ඔහු මෙල්බර්න්  “ඔසී මිලියන්” හි ස්ථායී ක්‍රීඩකයෙකු ලෙස ඔහු කටයුතු කළේය.  

වොන්ගෙන් අපට උගත හැකි පාඩම් බොහෝය.

වරක් වොන් - මුරලි කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ දඟ පන්දු උපදේශක ලෙස කටයුතු කරන මෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුගෙන් ඉල්ලා තිබිණි. එවිට ඔහු ප්‍රකාශ කර තිබුණේ මගේ නමින්ම නම් කර ඇති කුලසාන තරගාවලියක මමම උපදේශකයෙක් ලෙස කටයුතු කිරීම උචිත නැති බවයි.

එපමණක් නොම 2004 සුනාමි ව්‍යසනය සිදුවූ අවස්ථාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මුළු මනින්ම පාහේ විනාශ විය. තමන් තමන්ගේ 500 වෙනි කඩුල්ල ගත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පෞද්ගලික මුදලින් පිළිසකර තර යළිත් ක්‍රිකට් සඳහා සුදුසු ක්‍රීඩාංගනයක් බවට පත් කළේද අන්න ඒ වෝන්මය.

ලොව කොතරම් දඟ පන්දු යවන්නන් හෝ පා දඟ පන්දු යවන්නන් බිහිවූවද නැවත ශේන් වෝන් කෙනෙක් බිහිවන්නේ නැත. ඒ තරමටම ඔහු ඔහුටම ආවේණික අනන්‍යතාවක් ගොඩනගාගෙන තිබිණි. තාක්ෂණය එතරම් දියුණු නොවූ සමයක පිතිකරුවන් ගේ රටාවන් පියවි ඇසින් අධ්‍යයනය කරන ඔවුන් අන්ත අසරණ කරන ආකාරයේ පන්දු යැවිය හැකි ලොව භයානකම පන්දු යවන්නා වෝන් බවට අවිවාදයෙන්ම කිව හැකිය.

බ්‍රයන් ලාරා නම් ශ්‍රේෂ්ඨතම පිතිකරුවා, වේදනාත්මක ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පවසා ඇත.  සදාකාලික ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු අපට අහිමි වී ඇත!! සාමයෙන් සැතපෙන්න වොනී..! ඔබ නැතුව පාලු වේවි."

හිමාෂි කරුණාරත්න

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top