Apr 19, 2022

විශ්වාස භංගයට පසු අන්තර්වාර පාලනයෙන් කළ හැක්කේ කුමක්ද?

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවක් මගින් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කර අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකින් නව ආණ්ඩුවක් පත්කර ගැනීම රාජපක්ෂ පාලනය ඉවත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ දැනට මතු කෙරෙන විසිඳුමකි.

එනමුත් හරියාකාරව සමාජ සංවාදයකට බඳුන් නොවුනු කාරණාව නම්, විශ්වාස භංගයෙන් පසු පත් කෙරෙන අන්තර්වාර පාලනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නය. බොහෝ දෙනෙකුට එය “ගෝඨා ගෙදර පල” යැයි කීම සමග රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීමකි. ප්‍රශ්නය වන්නේ ව්‍යවස්ථාමය මැදිහත්වීමකදී එය ඉටුකර ගැනීමේ පියවර පිළිබඳව කිසිදු පැහැදිලි යෝජනා නොමැති වීමෙහිය. විශ්වාස භංගයෙන් ආණ්ඩු මාරුවකට ඉඩ ඇතත් 2025 පාර්ලිමේන්තු මැතිවරණය පැමිණෙන තෙක් රාජපක්ෂලා පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් කිරීමක් විශ්වාස භංගයෙන් සිදුවන්නේ නැත. එබැවින් “ගෝඨා ගෙදර පල” යැයි කීම හා විශ්වාස භංගය අතර සෘජු සම්බන්ධයක් නොමැති බව ගාලු මුවදොර තරුණ විරෝධය තේරුම් නොගත්තකි. එය ඉටු කෙරෙන්නට අන්තර්වාර පාලනය නිසියාකාරව ස්ථාපිත කිරීමේ කොන්දේසිද තිබිය යුතු බව තේරුම් ගත යුතුය.

ව්‍යවස්ථාවට අනුව, විශ්වාස භංගයකින් ආණ්ඩුව පරාජය වූවාට වහා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු නොවේ. විපක්ෂයට ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කළ හැකි නම්, ඉතිරි පාර්ලිමේන්තු කාලය සඳහා ආණ්ඩු පාලනයක් ලබා ගැනීමට විපක්ෂයට ඉඩක් ඇත. එහෙත් මේ විශ්වාස භංගය ඉදිරිපත් කෙරෙන්නේ එවැනි පාර්ලිමේන්තු දේශපාලනයකට සීමාවූ සන්දර්භයක නොවේ. මේ අති සුවිශේෂි සන්දර්භයකි. ආණ්ඩුව පමණක් නොව, පාර්ලිමේන්තු විපක්ෂයද ජන සමාජයේ බලපෑමට පූර්ණ ලෙස යටත් කෙරෙන, පාරට පැමිණි ජනතාවක් ඉන්නා නව දේශපාලන සන්දර්භයකි. එහි විශ්වාස භංගයටද කොන්දේසි ඇත.

IMG 7986ඡායාරූපය - ශානිකා ජයසේකර විශ්වාස භංගය ඉදිරිපත් කළ යුත්තේ රාජපක්ෂ ආණ්ඩුව බලයෙන් ඉවත් කරන්නට පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අනාගත සංවර්ධනයක් වෙනුවෙන් අන්තර්වාර පාලනයක් ඔස්සේ ස්ථිර පදනමක් හදා ගන්නටය. මේ විශ්වාස භංගය සමස්ථ දේශපාලන දේහයේත් රාජ්‍ය යාන්ත්‍රණයේත් ආර්ථිකයේත් බරපතල හා මූලික වෙනස්කම් වෙනුවෙන් වැදගත් දේශපාලන ප්‍රවේශයක් කරගත හැකි යැයි මා කියන්නේ එබැවින්ය. එහෙත් ඒ වෙනුවෙන් වැදගත් සාධකයක් විය හැකි ගාලු මුවදොර පිටියේ තරුණ විරෝධයෙහි ඇත්තේ සිංහල-බෞද්ධ තරුණ මැදිහත්වීමක් සහිත පැහැදිලි එල්ලයක් නැති, එකිනෙකට සම්බන්ධයක්ද නොමැති මත ඉදිරිපත් කෙරෙන, “මෙහි නායකයින් නැත” යැයි කියන්නාවූ කතාවේ ඇත්ත ප්‍රායෝගික අවුලකි. ඒ අවුල ලිහා ගැනීමට දැන් කේන්ද්‍රීය දේශපාලන නායකත්වයක් සහිත ඉදිරි එල්ලය නිවැරදි කර ගැනීමේ දැනුවත් මැදිහත්වීමක් ගාලු මුවදොර පිටියට අවශ්‍යව ඇත.

උපරිම මාස 06 ට සීමා කෙරෙන අන්තර්වාර පාලනය

ඊට අදාලව අන්තර්වාර පාලනයේ ස්වභාවය, කාලය හා වගකීම් ගැන යම් සංවදායක් මේ සමාජයේ දැනටත් ඇත. මා ඒ වෙනුවෙන් යෝජනා කරන්නේ උපරිම මාස 06 ට සීමා කෙරෙන අන්තර්වාර පාලනයකි. මේ වසරේ ඔක්කෝම්බරය අවසන් වන්නට පෙර නව ආණ්ඩුවක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටය.

එහිදී වැදගත් වන පළමු කාරණය නම්, ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගය සම්මත කිරීමෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් නෙකෙරෙන බවත් තේරුම් ගැනීමය. අනෙක නම්, සැළකිය යුතු කාලයක් ගතවන දෝසාභියෝගයක් සම්මත කිරීමෙන්ද ජනාධිපති ධූරයේ ඉන්නා පුද්ගලයා ඉවත් කිරීමක් මිස ධූරය සතු විධායක බලය අහෝසි කිරීමක් නොවන බව තේරුම් ගැනීමය. ඒ සියලු දේශපාලන ඇඟවීම් සමග අන්තර්වාර පාලනයේ සංයුතිය හා වගකීම් තීන්දු කිරීමේදී ගාලු මුවදොර පිටියේත් ඉන් බැහැර සමාජයේත් සංවාදය වෙනුවෙන් මා යෝජනා කරන්නේ -

01. අන්තර්වාර ආණ්ඩු පාලනය උපරිම සය (06) මසක කාලයකට සීමා විය යුතුය.
02. අන්තර්වාර ආණ්ඩුවේ බල තුලනය පළාත් 09 එක හා සමාන අයුරින් නියෝජනය වන ලෙස ඇමතිවරුන් 18 කු ගෙන් සමන්විත විය යුතු අතර, වෙනත් වර්ගයන්හි ඇමති ධූර කිසිවක් නොතිබිය යුතු යැයි කියා ය.
03. මුදල්, දිළිඳු සහන, පළාත් සභා හා පරිසර සංරක්ෂණ ඇමති ධූර අගමැති සතු විය යුතුය. ග්‍රාමීය සංවර්ධන, කෘෂිකර්ම, වාරි මාර්ග, ඉඩම්, ධීවර හා ජලජ සම්පත් එක ඇමතිවරයෙකු යටතේ තිබිය යුතුය. එවගේම ප්‍රවාහන, මහා මාර්ග, නගර සංවර්ධන, පළාත් පාලනයද එක ඇමතිවරයෙකුට බාර විය යුතු ය. පොලිස් දෙපාර්තමේන්තුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විෂයක් විය යුතුය. සෙසු අමාත්‍යාංශද එළෙසින් ඉතිරි 15 දෙනා අතර තුලනාත්මකව බෙදිය යුතු වන්නේය.
04. අන්තර්වාර පාලනය මහ ජාතිය වෙනුවෙන් බර තැබීම වළකා ලීමට සුළු වාර්ගික නියෝජනයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් අගමැති ධූරයට පත් කළ යුතුය

එවගේම වැදගත් සමාජ සංවාදයක් සමග ප්‍රධාන විපක්ෂයටද ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට බල කළ යුතු වන්නේ ය. අන්තර්වාර පාලනයේ වගකීම් නිර්ණය කිරීම වෙනුවෙන් මා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ වගේම මැතිවරණ නීති සංශෝධනයද වන්නේය. ඊට පෙර මේ රටේ අති බහුතරයක් සාමාන්‍ය ජනතාවගේ දෛනික අවශ්‍යතාවන් ගැනද කෙටි සටහනක් තබමි.

ක්ෂණික මූලික අවශ්‍යතා

අන්තර්වාර පාලනයේ ක්ෂිණක වගකීම වන්නේ සීඝ්‍රයෙන් මිල ඉහළ යන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, fඖෂධ හිඟය සමග සති ගණන් ඉන්ධන, භුමි තෙල් හා ගෑස් නොමැතිව පෝලිම්වල ඉන්නා ජනතාවට අනිවාර්යෙන් අවශ්‍ය වන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, fඖෂධ, ඉන්ධන, භූමි තෙල් හා ගෑස් නිශ්චිත සළාකයක් ලෙස සහනදායි මිලකට ලබා දීමය. රාජපක්ෂ ආණ්ඩුව වෙනුවට අන්තර්වාර පාලනයක් තහවුරු කිරීමේ වැදගත්ම ක්ෂණික අවශ්‍යතාවක්ද වන්නේ එය ය.

ඒ සඳහා පවුලේ මාසික ආදායම රුපියල් 75,000 ට වැඩි නොවන සියලු ගෘහයන්ට 2020 ජනවාරියේ පැවති මිලට ඉන්ධන, භූමිතෙල්, ගෑස්, තිරිඟු පිටි, සහල්, සීනි සහ පරිප්පු ප්‍රමාණවත් අයුරින්ද, හිඟයකින් තොරව අවශ්‍ය සියලු fඖෂධ වර්ග සහන මිලකටද අන්තර්වාර පාලනය තහවුරු කර දෙසතියකින් සළාක ක්‍රමයකට මේ වසර අවසන් වනතෙක් ලබා දෙන ලෙසත් ධීවර කාර්මිකයින්ට ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ ධීවර සමුපාකාර සමිති හරහා සහන මිලට ලබා දෙන ලෙසත් මම යෝජනා කරමි.

මේවා සහන මිලට ලබා දීම සඳහා අන්තර්වාර පාලනයට මේ වසරේ දෙසැම්බර තෙක් විදේශ විනිමය ප්‍රතිපාදන හා දේශීය රුපියල් අවශ්‍ය වන්නේ ය. ඒ සඳහා ප්‍රධානම හා පළමු අවශ්‍යතාව වන්නේ රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අන්තර්වාර පාලනයේ වගකීම් විශ්වසනීය ලෙස රටටත් ජාත්‍යන්තරයටත් ඉදිරිපත් කිරීම ය.

ඒ සමගම ඉන්දියානු ආධාර නිසියාකාරව කලමනාකරණය කිරීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වහා හදිසි ආධාරයක් ඉල්ලා ගැනීමට සීඝ්‍රගාමීව සාකච්ඡා ඉදිරියට ගෙන යාමත් අන්තර්වාර පාලනයේ වගකීමක් වන්නේය.

විදේශ විනිමය අර්බූදයට අමතරව වහා විසඳාගත යුතු අනෙක් අර්බූදය වන්නේ මුදල් මුද්‍රණය නොකර දේශීය ආදායම් වහා ඉහළ නංවා ගැනීමය. එය එතරම් අසීරු කාර්යක් නොවේ. ඒ වෙනුවෙන් -

1. ඉන්ධන ලීටරයකට කි.මීටර 06 ක් හෝ ඊට අඩුවෙන් ධාවනය කරන සියලු සුඛෝපභෝගී වාහන සඳහා එක වර වහා අය කර ගන්නා විශේෂ බද්දක් වශයෙන් වාහනයකට රු.මිලියන 05 බැගින් අය කර ගැනීමත්
2. පසුගිය වසර 03 ක කාලයේ විගණනය කෙරුණු වාර්ෂික ශුද්ධ ලාභය රු.බිලියන 05 ට වැඩි සියලු ව්‍යාපාර සඳහා එක වර වහා අය කර ගන්නා විශේෂ බද්දක් වශයෙන් රු.බිලියන 01 ක් සහ වාර්ෂික ශුද්ධ ලාභය රු.බිලියන 10 ට වැඩි සියලු ව්‍යාපාර සඳහා රු.බිලියන 02 ක් අයකර ගැනීමත්
ඹම යෝජනා කරමි.

අතුරු ව්‍යවස්ථාමය විසඳුම්

අන්තර්වාර පාලනයේ වගකීම් වශයෙන් ඉදිරිපත් කරන මෙම යෝජනා සියල්ල මතු රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් සැකසීමට සහ ජනතා නියෝජනය සමාජයට වග වෙන්නාවූ නියෝජනයක් බවට පත් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන ආරම්භක යෝජනාවන් ය.

01. අන්තර්වාර පාලනය ස්ථාපිත කර මාස 03 ක් ඇතුළත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් 21 වන සංශෝධනය සම්මත කිරීම - එය පාර්ලිමේන්තුව වෙත ව්‍යවස්ථාමය හා විධායක බලය ලබා දීමේ සංශෝධනයක් විය යුතු අතර, අගමැති ධූරය සඳහා විශේෂ විධායක බලයක් ආරෝපණය නොකරන්නක් විය යුතුය. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත ගැසට් කිරීමට ප්‍රථම අන්තර්වාර පාලනයේ පළමු මාසය තුල ප්‍රසිද්ධ කළ යුතුය. ඒ සම්බන්ධයෙන් සිදුවන සමාජ කතිකාවන් සඳහා රාජ්‍ය මාධ්‍ය සිය කාලය වෙන් කළ යුතුය. ගැසට් කළ යුත්තේ සමාජ සංවාදයෙන් ඉස්මතු කෙරෙන ප්‍රධාන යෝජනාද ඇතුළත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය වශයෙනි. තුන්වන මාසය අවසන් වන්නට පෙර 21 වන සංශෝධනය සම්මත කර බලාත්මක කළ යුතු ය.

02. දැනටත් රටේ නීතියක් ලෙස පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු නීති සම්පාදනය අන්තර්වාර පාලනයේ දෙවන මාසය අවසන් වන්නට පෙර සම්පූර්ණ කළ යුතුය
03. වත්කම් හා බැරකම් නීතිය යටතේ එහි 02 වන වගන්තියෙහි සඳහන් පුද්ගලයින් හා ධුර අතරින් අධිකරණ සේවා කොමිසම මගින් පත් කෙරෙන සියල්ලන්ටත් රාජ්‍ය සේවාවේ සියලු මාණ්ඩලිකයින්ටත් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුලේ වත්කම් හා බැරකම් වාර්තා වාර්ෂිකව ප්‍රකාශ කිරීම අනිවාර්ය කරමින් ඒවා නොපමාව ප්‍රසිද්ධියට පත් කළ යුතු බවටත් මහජන ඡන්දයෙන් නියෝජිතයින් තෝරා පත් කෙරෙන මැතිවරණ වලදී සියලු අපේක්ෂක අපේක්ෂිකාවන් සිය පවුලේ වත්කම් හා බැරකම් වාර්තා ඔවුන්ගේ නාමයෝජනා බාර දෙනවිට මැතිවරණ කොමිසමට බාර දීම අනිවාර්ය කිරීමත් වෙනුවෙන් වත්කම් හා බැරකම් නීතිය පළමු මාස 03 ඇතුළත සංශෝධනය කළ යුතුය.
04. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14(1)(ඈ) යටතේ සහතික කර ඇති මූලික අයිතියක් වන වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ අයිතිය අනිවාර්ය අයිතියක් ලෙස සියලු මාධ්‍යවේදීන්ට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද ව්‍යාපාරයන්හි සේවක සේවිකාවන්ට සහතික කිරීම වෙනුවෙන්
(අ) විද්‍යුත් සංඛ්‍යාත බදු දීමේදී විද්‍යුත් සංඛ්‍යාත ලබා ගන්නා මාධ්‍ය ආයතනයේ සියලු සේවක සේවිකාවන්ට ඔවුන් තෝරා ගන්නා වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ අයිතිය අදාල කොන්දේසි වලට ඇතුළත් කර ඊට අදාල පනත් මාස 03 ක් ඇතුළත සංශෝධනය කළ යුතුය. (මෙරට මාධ්‍යවේදීන් සක්‍රීය වෘත්තිකයින් බවට වර්ධනය වන්නට)
(ආ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද සියලු ව්‍යාපාරයන්හි සේවක සේවිකාවන්ට ඔවුන් රිසි වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය පූර්ණ ලෙස ආරක්ෂා කෙරෙන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත මාස 03 ක් ඇතුළත සංශෝධනය කළ යුතුය.
05. මෙතෙක් මාධ්‍ය ආයතන සඳහා බදු දී ඇති විද්‍යුත් සංඛ්‍යාත සියල්ල සම්බන්ධ කොන්දේසි මිල ගණන් සමග සියලු විස්තර අන්තර්වාර පාලනය ස්ථාපිත කිරීමෙන් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ප්‍රසිද්ධ කළ යුතු ය.

278615334 526319315524358 8668610133968229847 nඡායාරූපය - තිළිණ කළුතොටගේ

පාර්ලිමේන්තුව ඇතුළු මහජන නියෝජන සභා ප්‍රජාතන්ත්‍රීය කිරීම

මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නොවේ. ඒවායේ සාමාජිකත්වයක් ඇත්තේද නැත්තේද යනු ඒවායේ නායකයින්ද නොදන්නවා විය හැක. ඒවා පාලනය කෙරෙන්නේ කොළඹ කේන්ද්‍රීය නායක කල්ලි විසිනි. ඒවායේ අරමුදල් ගැන වගකියන්නාවූ කිසිවකු ඇතිද යන්නත් නොදනී. මැතිවරණ සඳහා තරග කිරීම වෙනුවෙන් අදාල නීති වලට ගැලපෙන අයුරු මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙන ලිපි ගොනු ඇත. ඒ අතර වාර්ෂික අය වැය ලේඛනද ඇත.

එවැනි පසුබිමක, පාර්ලිමේන්තුවට වැදගතුන් තෝරා පත් කළ යුතුයැයි කීමේ අරුතක් නැත. ජනතාවට ඡන්දය දිය හැක්කේ මෙවැනි දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්ෂකයින්ට ය. මේ පවතින මැතිවරණ ක්‍රමයෙහි ස්වාධීනව තරග කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යක් නොවන හෙයිනි.

එබැවින් මේ දේශපාලන පක්ෂ කිසියම් පමණකට සමාජයට වගවන අයුරු නීති සැකසිය යුතුව ඇත. එසේ නොවුනහොත් අන්තර්වාර පාලනයෙන් පසු පත් කෙරෙන පාර්ලිමේන්තුව මේ තිබෙන පාර්ලිමේන්තුවට නොදෙවෙනි වනු ඇත. ඒ නිසාවෙන් මා යෝජනා කරන්නේ -

01. මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි ලේඛනගතව ඇති සියලු දේශපාලන පක්ෂ තමන්ට අරමුදල් ලැබුණු ආකාරයද විස්තර කෙරෙන වාර්තාවක් වාර්ෂික අයවැය ලේඛනය සමගින් මැතිවරණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතු අතර එම විස්තර සියල්ල නොපමාව ප්‍රසිද්ධ කළ යුතු බවට අන්තර්වාර පාලනයේ තෙවන මස ඉක්ම යන්නට පෙර මැතිවරණ නීති සංශෝධනය කළ යුතුය.
02. සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් තම මැතිවරණ අරමුදල් පිළිබඳ සියලු තොරතුරු මැතිවරණ දිනට සතියකට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බවටත් ඒවා මැතිවරණයට දින 03 ට පෙර ප්‍රසිද්ධ කළ යුතු බවටත් අන්තර්වාර පාලනයේ තෙවන මස ඉක්ම යන්නට පෙර මැතිවරණ නීති සංශෝධනය කළ යුතුය.

kusal perera

අන්තර්වාර පාලනයකින් පසු සමාජ වගකීම් බාර දිය හැකි සහ සහ බාර ගන්නා ස්ථාවර ආණ්ඩු පාලන සහතික කර ගැනීමට අවශ්‍ය පදනම සැකසීම වෙනුවෙන් මෙවැනි පුළුල් යෝජනා අවශ්‍ය වන්නේ යැයි මම සිතමි. එහෙත් අපගේ ඉදිරි ගමන වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත යුතුය. ඒ වෙනුවෙන් දියුණු සමාජ සහභාගිත්වයක් ලබා ගැනීමේ සංවිධාන ව්‍යුහය ප්‍රකාශ කිරීමේ වගකීමද අන්තර්වාර පාලනයට බාර කළ යුතු වන්නේය.

කුසල් පෙරේරා
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී - දේශපාලන විචාරක

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top