2022-04-20 දින ආහාර නොමැතිව වනජීවී නිලධාරීන් ඉදිරිපිට මිය ගිය වන අලියා  2022-04-20 දින ආහාර නොමැතිව වනජීවී නිලධාරීන් ඉදිරිපිට මිය ගිය වන අලියා
Apr 26, 2022

කන්න නැතිව මැරෙන අලි

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම 'අද' පුවත්පත මගින් අනාවරණය කරනු ලැබුවත්, වගකිව යුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන්, මේ මස ගෙවී ගිය සති දෙක තුළදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවී තිබේ.

දිවයිනේ නොයෙක් ප්‍රදේශ තුළින් ආහාර සොයා ගම් වදින වනඅලින් හේතුවෙන් සිදුවන අලි - මිනිස් ගැටුමට පිළියම් සොයා, වනඅලින් අල්ලා ගාල් කරන ලද හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී මන්දපෝෂණ තත්ත්වයෙන් මියයන බවට තොරතුරු දැනගැනීමේ පනත භාවිතකොට කරුණු අනාවරණය කරන ලදී.

ඒ අනුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී වාර්තා වී ඇති මියගිය අලි මරණ පමණක් පරික්ෂාවේදී, 2021 සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ පමණක් මියගිය වනඅලින් 20 දෙනාගෙන් 16දෙනෙකු පමණ මියගොස් ඇත්තේ මන්දපෝෂණයෙන් බවට තහවුරු කරන ලදී.

මෙවන් තත්ත්වයක් හමුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු සියලු නිලධාරීන් නිසි පිළියමක් නොදීම හේතුවෙන්, පසුගිය අප්‍රේල් 20වනදා ආහාර නොමැතිව මුලින් පෙන්වා දෙනු ලැබූ දුර්වල වූ අලියෙකු වනජීවී නිලධාරීන් ඉදිරියේම මැරී වැටුණි. එමෙන්ම අප්‍රේල් 15වනදා පමණ මේ ආකාරයෙන්ම ආහාර නොමැතිව මැරී වැටි සිටි තවත් වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.

උත්තරය සෙවීම වෙනුවට ප්‍රශ්නය වෙනත් තැනකට මාරු කරමින්, මෙතෙක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් දමා ඇත්තේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මිනිසුන්ට කරදරකාරී ලෙස හැසිරුණු බව පැවසූ වනඅලින් බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටින්නේ. නමුත් පරිසරවේදීහු සහ විද්වත්තු මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වති.

මෙහි බරපතළම කාරණයක් වන්නේ අලි ගාල තනන අවස්ථාවේ එහි සිරවී වනජීවී නිලධාරීන්ද නොදැක සිටි වයස අවුරුදු 11ක පමණ තවත් ඇත් පැටවෙකු හට මෙතෙක් කල් එම අලි ගාල තුළ සිරවී සිටීමට සිදුව තිබීමයි. හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තනන අවස්ථාවේදී මෙම ඇත් පැටවා හට වයස අවුරුදු තුනක් පමණ වන්නට ඇති බවත්, මේ වන විට වයස අවුරුදු 10ක් හෝ 11ක් පමණ වන බවත් වනජීවී නිලධාරීන් පවසා සිටී. අද වන විට මෙම ඇත් පැටවාගේ ජීවිතය ආහාර නොමැතිව මරණාසන්නව තිබෙන බව ඡායාරූප මගින් මනාව පෙනී යන දෙයකි. එසේ සිදුවෙමින් තිබෙන්නේ මෙම අලි මරණ සඳහා වගකිවයුතු නිලධාරීන්ගේ නිහඬ පිළිවෙතයි.

වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන් පවසා සිටින්නේ මෙම ඇත් පැටවා වහා ප්‍රතිකාර සඳහා යොදවනු නොලැබුවහොත්, ඉදිරි දින කිහිපයකදී මිය යෑමට ඇති සම්භාවිතාව වැඩි බවයි.

Elephant1

එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු අනුව 2015 සැප්තැම්බර් 03වනදා සිට මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වනඅලින් 66දෙනකු පමණ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබෙන බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය.

එහෙත් අලින්ගේ මරණ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණයේදී හෙළි වූ පරිදි 2014 සැප්තැම්බර් 10 වන දිනත් මෙම භූමිය තුළදී වන අලියකු මියගොස් ඇති බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. එයින් පෙනී යන්නේ, අදාළ ලේඛනයේ නොමැති වන අලින්ද එහි සිටි බවයි. ඒ අනුව අලින් 68කට ආසන්න ප්‍රමාණයක් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් දමා ඇති බව නිරීක්ෂණය විය.
හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින වනඅලින් මේ ආකාරයෙන් මන්දපෝෂණ තත්ත්වයට පත්වීමට තවත් එක් හේතුවක් වන්නේ, වනඅලින් හට බාහිරින් ලබාදුන් සොච්චම් කෑම වේලයි. එහි ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් 2019 සිදුකළ විගණනයෙන් පසුව සිට මේ දක්වා ලබා දී නොමැත.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට අනුව අනෙකුත් සත්ත්වයන්ට මෙන්ම අලින්ට ප්‍රමාණවත් ආහාර නොමැති වූ විට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය බිඳ වැටී, පසුව ශරීරයේ ඇති විෂබීජ ක්‍රියාත්මක වීම හේතුවෙන් සතා ඉක්මනින්ම මියයාමට ඇති සම්භාවිතාව වැඩිය.

කෙසේ නමුත් හෙක්ටයාර 997ක (වර්ග කිලෝමීටර් 9.98) කුඩා භූමි ප්‍රමාණයකින් සමන්විත වන හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ වනඅලින් විශාල ප්‍රමාණයක් මේ ආකාරයෙන් සිර කිරීම නිසා එම සතුන්ට අවශ්‍ය ආහාර නොමැති වීම මෙන්ම, ආහාර නොමැතිව හාමතේ වනඅලි මියැදෙන බව 2021 මාර්තු මස 23වනදා සිදුකළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා එය ප්‍රතික්ෂේප කර සිටියේය. එහිදී ඔහු කියා සිටියේ 'අපි මේ සතුන්ගේ ශරීර සෞඛ්‍යය ගැන හොයල බැලුවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒ තුළින් කියන්නේ ආහාර තියෙනවා කියලයි. දැන් ආහාර දීම නවත්වල තියෙන්නෙත් ඒකෙ ඇතුළෙ ඇති තරම් ආහාර තියෙන නිසා.' යනුවෙනි.

මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී මනාව තහවුරු වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකර, වගකීම් විරහිතව සිටීමෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අදටත් අාහාර නොමැතිව වනඅලින් මියැදෙන බවයි. ඒ සඳහා මෙම අලි මරණ මොනවට සාක්ෂි දරයි.

වනජීවී නිලධාරීන් පවසන ආකාරයට ඉහත සඳහන් කළ මෙම මස මියගිය වනඅලින් දෙදෙනා හැර, මේ වන විට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඉතිරි වී සිටින්නේ වන අලින් 04දෙනෙකු පමණක් වන අතර, ඒ අතර ආහාර නොමැතිව මරණාසන්නව සිටින ඇත් පැටවාද සිටී. එම ඇත්පැටවා බේරා ගැනීමට නම් කඩිනම්ව වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් ක්‍රියාත්මක විය යුතුය.

මේ ආකාරයෙන්ම 2018 ජුලි 02 වන දින පුත්තලම සිමෙන්තිගම ප්‍රදේශයෙන් අල්ලාගන්නා ලද ඇතා, මියයන්නට ආසන්නයේ සිටින බවට 2021 අප්‍රේල් මස 07වන දින 'අද' පුවත්පත මගින් අනාවරණය කරුණු ලැබුවත්, ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් නිහඬව, වගකීම් විරහිතව සිටීම හේතුවෙන් එම වනඅලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී 2021 ජූලි 12 මියගියේය. එම ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ 2021.07.14දා බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් අලි මරණ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැනගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට ප්‍රශ්න කිහිපයක් යොමු කළෙමු. පසුගිය සති එකහමාරක කාලය තුළ වනඅලින් දෙදෙනෙකු කන්න නැතිව මියගොස් ඇති බව ඔබ දන්නවාද?

ඔව් දන්නවා. ඒවායේ මරණ පරීක්ෂණ තාම ආවෙ නෑ. ඒවා බලලා තමයි උත්තර දෙන්න ඕන.
තවත් ඇත් පැටවෙකු කන්න නැතිව දුර්වල වෙලා තියෙන්නේ. එම අලි පැටවා ආරක්ෂා කර ගැනීමට, ප්‍රතිකාර කිරීමකට යොමු කරනවාද?

කරන්න ඕන දේ අපි දන්නවා. ඒකට සැලසුමක් හදමින් ඉන්නේ.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී කන්න නැතිව වනඅලින් මියැදෙන බව අප පෙන්වා දුන් හා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. එවන් පසුබිමක කන්න නැතිව අවසන් හුස්ම හෙළමින් සිටින ඇත් පැටවා මුදාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට තවදුරටත් සැලසුම් කරමින් සිටීමෙන් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී පසුගිය කාලය පුරාවට වනඅලින්ට සිදුවූ මරණයේ ඉරණම මෙම ඇත් පැටවාටද අත්වනු නොඅනුමානය.

උපුටා ගැනීම 

(අද පුවත්පත)

cementTusker

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top