Feb 22, 2018

“බෙලි කැපීමේ” මුද්‍රාව පෑ බ්‍රිගේඩියර්ට විනය පරීක්ෂණ නැහැ

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා ලන්ඩනයේ විරෝධතාවක් පැවැත්වූ දෙමළ උද්ඝෝෂකයන්ට කළ මරණ තර්ජනයක් බව දිස්වන හස්ත මුද්‍රාවක් පෑ හමුදා නිලධාරියා සියරට කැඳවා ඇත්තේ විනය පරීක්ෂණයක් සඳහා නොවන බව යුද හමුදාව තහවුරු කර තිබේ.

තමන්ගේ උගුර හරහා කිහිප වරක් ඇඟිලි යවමින් බෙල්ල කැපීමේ සංඥාවක් කළ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ හමුදාපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා යැයි හමුදා ප්‍රකාශකයා පවසයි.

“විනය සම්බන්ධයෙන් විමසන්න කිසිම ක්‍රියාමාර්ගයක් නෑ,” යි හමුදා ප්‍රකාශක සුමිත් අතපත්තු කොළඹදී මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

“මේ ප්‍රශ්නගත තත්වයක් උදාවෙලා තියෙන හින්දා ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැතුව, ඇවිල්ලා කතා කරනවා මොකක්ද වෙන්නේ කියලා.”

බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු ගේ චර්යාව ආක්‍රමණශීලී බවට හෙලා දකිමින් විදේශ අමාත්‍යාංශය කළ වැඩ තහනම පැය 24 ක් ගතවීමට පෙරම ජනාධිපතිවරයා විසින් අහෝසි කළේය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ධුරය සඳහා වෙනත් අයකු අනුයුක්ත කිරීමේ තීන්දුවක් ගෙන නැති බවද අවධාරණය කළ හමුදා ප්‍රකාශකයා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව පෙනී සිටි බවද මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේය.


(radiogagana)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top