Feb 23, 2018

කැබිනට් සංශෝධනයට ජනාධිපති කාර්යාලයේ සූදානමක් නෑ

ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය විසින් අද (23) කැබිනට් සංශෝධනයක් සිදුකරන බවට පුවත් පළවුවද ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ සූදානමක් නැතැයි ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පෙරවරුවේ ඇඹිලිපිටියේ උත්සවයක් සඳහා සහභාගිවී ඇති බවත්, ඉන්පසුව ඒ මහතා අද පස්වරුවේ පදනම් ආයතනයේ උත්සවයකට සහභාගිවීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

ඉරිදාද ?

මේ තත්ත්වය හේතුවෙන් කැබිනට් සංශෝධනය ලබන ඉරිදා පැවැත්වෙන බවට රාවයක් පැතිර තිබේ.

කෙසේවුවද, ඒ සම්බන්ධයෙන්ද අප විමසා සිටි අතර එම ප්‍රකාශකයා සඳහන් කළේ සිරිසේන මහතා හෙට (24) අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද නාහිමිගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවී පසුදින (ඉරිදා) පොළොන්නරුවට යාමට නියමිත බවයි.

එම තත්ත්වය මත ඉරිදා ද කැබිනට් සංශෝධනයක්වීමට ඇති ඉඩකඩ ඇත්තේ පනහහට පහනහක තත්ත්වයක බවයි.

UNP ලයිස්තුව

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් සංශෝධන ඇතුළත් ලැයිස්තුව මේවන විට ජනපතිවරායාට ලබාදී ඇති බවත්, සිරිසේන මහතා එම ලයිස්තුවට එකඟවී නැති බවත් මේ අතර වාර්තා වේ.

තරුණ දක්ෂ පිරිසට ඇමතිකම් ලබාදෙන ලෙසත්, දූෂණ චෝදනා එල්ලවූ හා අකාර්‍යක්ෂම අමාත්‍යවරු අදාළ ධූරවලින් ඉවත් කරන ලෙසත්, ජනපතිවරයා දක්වා ඇති බවත්, එජාපය දුන් සංශෝධනවල ඒවා ඇතුළත්ව නොතිබීම නිසා එම ලයිස්තුව ජනපති ප්‍රතික්ෂේප කර ඇති බවද අදාළ ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top