Jan 05, 2021

පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට, රූපවාහිනියට අධ්‍යක්ෂකලා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය! Featured

පුවත්පත් වලට පමණක් සීමා වී ඇති 1973 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, "පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙසද, මාධ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කෙරෙන මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රතිසංවිධානය කළ යුතු බව හඳුනාගෙන ඇති," බව ඊයේ (04) ගනු ලැබූ කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ දැක්වේ.

රූපවානිනියේ අධ්‍යක්ෂක මණ්ඩලය 9ක් වෙයි

මේ අතර, මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දැනට සත්දෙනෙකුගෙන් සමන්විත රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය 09 දෙනෙකු දක්වා වැඩිකිරීමට හැකි වන ලෙසද 1982 අංක 06 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අධ්‍යක්ෂක මණ්ඩලයට භාණ්ඩාගාර නියෝජිතයෙකු සහ විෂයභාර රේඛීය අමාත්‍යංශ ලෝකම් හෝ ඔහු විසින් පත්කරනු ලබන එම අමාත්‍යංශයේ වෙනත් නියෝජිතයෙකු ද පත්කිරීමට හැකි වන පරිදි මෙම සංශෝධනය සිදුකිරීමට නියමිත බවද එම නිවේදනයේ දැක්වේ.

මෙසේ රූපවාහිනියට අධ්‍යක්ෂකලා වැඩි කිරීමට තීරණය කර ඇත්තේ රූපවාහිනිය විශාල ලෙස පාඩු ලබමින් තිබියදී බව එහි අභයන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයක්

මේ අතර, රාජ්‍ය ප්‍රතිපත්ති හා සංවර්ධන ප්‍රයත්නයක් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට ලබාදීමට හැකිවන ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය නමින් ඒකකයක් පිහිටුවීමට අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකටද අනුමැතිය හිමිවී ඇත.

Cabinet Decision on 04.01.2021 page 004Cabinet Decision on 04.01.2021 page 004

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top