Jun 15, 2021

ගොඩහේවා කියන වාහන නැති මන්ත්‍රීලාට දෙන්නයන ලක්ෂ 400යේ ජීප් Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වෙනුවෙන් ඇනවුම් කරන ලද ප්‍රාඩෝ ජීප් රථයක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 450 ක් පමණ වන බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියයි.

එසේම අති සුඛෝපභෝගී V8 රථයක මිල රුපියල් ලක්ෂ 600 ක් පමණ වන බවද ඔහු අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් කියා සිටී.

රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතු බවත් මෙරට දේශපාලනඥයින්ට සහ නිළධාරීන්ට ජනතාවගේ දුක නොදැනෙන බවත් ඔහු පවසයි.

මෙම වාහන තොගය වෙනුවෙන් විවෘත කර තිබෙන ණයවර ලිපි අවලංගු කිරීමට අපහසු යැයි ඇතැම් දේශපාලනඥයින් කිව්වද එම ණයවර ලිපි ඉතාමත් පහසුවෙන් අවලංගු කළ හැකියැයි ඔහු කියයි.


මේ අතර, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ ජනතාව හිතන තරම් සුඛෝපභෝගී වාහන ඇමතිවරු ළඟ නොමැති බවත්, සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එන්නේත් බස් රථවලින් බවත්ය.

අමාත්‍යවරයකුට මෝටර් රථ තුනක් ලබා ගැනීමට අයිතියක් ඇති බවත්, එහෙත් තමාට ලබාදී ඇති මෝටර් රථවලින් දෙකක් කැඩී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට තමා දුවන මෝටර් රථ දෙකක් පෞද්ගලික ඒවා බවත්, අනෙක් මෝටර් රථය තමාගේ එකක් බවත් ඔහු පැවසීය.

ඇමතිවරුන්ට නිතරම ලැබෙන්නේ කලින් සිටි ඇමතිවරයාගේ වාහනය නොවන බවත්, ලැබෙන්නේ ඊටත් කලින් හිටිය අමාත්‍යවරයාගේ මෝටර් රථය බවද ගොඩහේවා මහතා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top