Sep 17, 2021

ලංකාවේ නීතියේ ආධිපත්‍ය වචනයකට විතරයි - හිටපු විනිසුරු යකන්දාවල

ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය සීමාවන්නේ වචනයකට පමණක් බවත්, ඉතිහාසය පුරාවටම නීතියේ ආධිපත්‍ය දැක ගැනීමට නොහැකිවූ බවත් කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක හා ශ්‍රී ලංකාවේ හිටපු මහෙස්ත්‍රාත් විනිසුරුවකු වන ධර්මසේන යකන්දාවල මහතා කියා සිටී.

NU1's VLOG යූටියුබ් නාලිකාව ඔස්සේ නුවන් ලියනගේ මහතා, යකන්දාවල මහතා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී විනිසුරුවන් හා අධිකරණයට සම්බන්ධ අනෙකුත් නිලධාරීන් වන නීතීඥවරු, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ට නීතිය විධිමත් අන්දමින් ක්‍රියාත්මක කිරීම හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ස්වාධීනව කළ හැකි ක්‍රමවේදයක් අවශ්‍ය බවද ඒ මහතා පෙන්වාදෙයි.

ඒ සමඟම කාලානුරූපව අපගේ නීතිපද්ධතිය වෙනස්විය යුතු බවත්, අවසනාවකට මෙරට නීතිපද්ධතියේ එවැනි වෙනසක් සිදුව නැතැයි ද ඔහු කියා සිටී.

ඒ මහතා කැනඩාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 338 ට මන්ත්‍රීවරු තෝරා පත්කර ගැනීමට පැවැත්වෙන ඉදිරි මැතිවරණය සඳහා තරගවැදීමට නියමිතවය.

යකන්දාවල මහතා ඇබ්ස්ටා (abasta) ඡන්ද කොට්ඨාසයට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරගවැදීමට නියමිතය.

පොලොන්නරුවේ චන්දන පොකුණ ගම්මානයේ උපන් යකන්දාවල මහතා නිදහස් අධ්‍යපනය ඔස්සේ සිය සිහින යථාර්ථ බවට පත්කර ගත් අයෙකි.

වයස අවුරුදු තුනේදී ඔහුගේ පියාද ඔහුට අහිමිවී ඇති අතර සහෝදරයෝ තුනක් හා සහෝදරියෝ දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ යකන්දාවල මහතා මූලික අධ්‍යපනය ලබා ඇත්තේ චන්දන පොකුණ කනිෂ්ඨ විද්‍යාලයෙනි.

පසුව ගිරිතලෙගම විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඔහු කොළඹ විශවවිද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top