Oct 21, 2021

සිසුන්ට විශේෂ සෞඛ්‍ය පුහුණුවක් - පාසල් ඇරියත් සමහරක් ගුරුවරු ලෙඩ ඇ‍දේ! Featured

දීර්ඝ කලක් නිවෙස්වලට වී සිට අද (21) පාසල්වලට පැමිණෙන පළමුවැනි හා දෙවැනි ශේ‍්‍රණිවල සිසු දරුවන් වෙනුවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

සිසුන්ගේ ඉදිරි අනාගතය ගැන සිතා පාසල්වලට පැමිණෙන ගුරුවරුන් පිළිගැනීම සඳහා පාසල් ආරම්භයේදී ගුරුවරුන් පිළිගැනීමේ ගුරු ගීතයක් සහ පාසල් දරුවන් පිළිගැනීමට ශිෂ්‍ය ගීතයක්ද නිර්මාණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කළේය.

ශිෂ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවෙන අතර සෑම වැඩසටහනක්ම විනාඩි තිහකට සීමාකර ඇති බවද විශේෂඥ වෛද්‍යවරුන්, ප්‍රජා වෛද්‍ය සේවයේ වෛද්‍යවරුන් මනෝ වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන් මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා අභ්‍යාසලාභී ගුරුවරුන් මෙම ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුළත් කර නිර්මාණය කළ වැඩසටහන් සඳහා සහභාගිවීමට නියමිතය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අවස්ථා කිහිපයක දී පාසල් වසා දැමීමට සිදුවු අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත වන පළමු අවස්ථාව මෙය වේ.

ක්‍රමක් ක්‍රමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෙසු පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කරයි.

පාසල් ඇරියත් සමහරක් ගුරුවරු ලෙඩ වෙලා!

අධ්‍යයන කටයුතු සඳහා පාසල් විවෘත කෙරුණ ද ගුරු, විදුහල්පති ඇතැම් වෘත්තීය සමිති පවසන්නේ සිය වැටුප් ගැටලුවට විසඳුම් ලැබෙන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා පාසල්වලට නොයන බවය.

කෙසේවෙතත් ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු, විදුහල්පති සංගම් කිහිපයක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වී ලබන 25 වැනිදා සිට පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට තීරණය කර තිබේ.

පාසල් ආරම්භ වීමත් සමඟ ගුරුවරුන් ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළාය.

මේ අතර වයස අවුරුදු 18-19 අතර දිවයින පුරා සිටින පාසල් සිසුන් එන්නත්කරණ කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

වයස අවුරුදු 18-19 අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් එන්නත්කරණය පසුගිය 15 වැනිදා ආරම්භ වු අතර එහිදී ළමුන් 10000කට වැඩි පිරිසක් එන්නත්කරණයට භාජනය වී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top