Oct 21, 2021

යුගදනවි ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 2ක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි.

එම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔහු චෝදනා කරති.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ගෑස් ඒකාධිකාරය පැවරීමට එරෙහිවත් පෙත්සමක්

මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට සහ ගෑස් ඒකාධිකාරය එම සමාගම වෙත පැවරීම අභියෝගයට ලක් කරමින් ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් තවත් පෙත්සමක් අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

යුගදනවි බලාගාරයේ රජය සතු වූ කොටස් හා එල්.එන්.ජී ගෑස් ඒකාධිකාරය අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටින අතර තවද එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top