Oct 21, 2021

ලොහාන්ගේ සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වන්නැයි නියෝගයක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැමිණීමෙන් අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් පවත්වන ලෙස ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (21) පොලිස්පතිවරයාට නියෝග කළේය.

දැනට අනුරාධපුර බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ රදවා පූපාලසින්හම් සූරියපාලන්, මතියරාසන් සුලක්ෂන්, ගනේෂන් තරාෂන්,කන්දප්පු කජේතිරන් ,රාසතුරෙයි සිතුරාසන්,මෙයියමුත්තු සුතදරන්, සහ ටී.කන්තරූබන් නැමත්තන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එම්.එච් ආර්. අජිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච් එම් ටී .එන් උපුල්දෙනිය,අධිකරණ ඇමැතිවරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එසේම අදාළ සිද්ධියට මුහුණ පෑ රැදවියන් 8 දෙනා වහාම වෙනත් බන්ධනාගාරායකටද මාරු කර යවන ලෙසද ශ්‍රෙස්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කෙරිණි.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යව සිටි ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් 12වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දණ ගස්වා ඉන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් එල්ල කරමින් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට සදහන් කරමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා රැඳවියන් අටදෙනෙකු නීතීඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මේ බව දැනුම් දෙන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රැඳවියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එය පෙබරවාරි මස 15 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top