Nov 07, 2021

තද වැසි තවදුරටත් ; පුද්ගලයන් පස්දෙනෙකු මරුට

පවතින අධික වැසිබර කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටින අතර එක් අයෙකු අතුරුදහන් වී ඇතැයි ද බලධාරීන් පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, වර්ෂාව හේතුවෙන් පවුල් 1,143ක පුද්ගලයින් 4,391 ක් පීඩාවට පත්ව ඇති ඇතර, නිවාස 635 කට අර්ධ හානි ද, නිවාස 12කට පූර්ණ හානි ද සිදුව තිබේ.

තද වැසි තවදුරටත්

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි.

වයඹ සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 පමණ වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැඩි වැසි ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

නායයාම් අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

මේ අතර, දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම හෙට(08) පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල, ගාල්ල, කළුතර, නුවර , කෑගල්ල, කුරුණෑගල, මාතලේ හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top