Nov 08, 2021

වාහනවලට හොරෙන් පොත් හැදූ ලිපිකාරිනිය CCD අත්අඩංගුවට

නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව සකස් කරන ලද ලියාපදිංචි සහතික ලබාදුන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලිපිකාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ යතුරුපැදි තුනක් සඳහා අවශ්‍ය ලියාපදිංචි සහතික තුනක් ඇගේ අනුමැතිය මත දෙපාර්තමේන්තුවට අයත් කොම්පියුටරයකින් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුවය.

හතළිස්හතර හැවිරිදි මෙම ලිපිකාරිනිය යතුරුපැදි පැවරුම් අංශයේ ලිපිකාරිනියක් ලෙස සේවය කර ඇතැයි කොළඹ  අපරාධ කොට්ඨාසය කියයි. 

වසර 22ක කාලයක් ඇය එම කොට්ඨාසයේ සේවය කොට තිබේ.

මෙලෙස නිසි ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කරන ලියාපදිංචි සහතික සහිත යතුරුපැදි අපරාධකරුවන්ට හා පාතාලයන්ගේ අතටද යෑමේ ප්‍රවණතාවක් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්න කිරීමටද නියමිතය.

මෙම ලියාපදිංචි සහතික සඳහා පොලිස් සහතික ඇතුළු විවිධ සහතික අවශ්‍යව තිබියදී මෙලෙස දෙපාර්තමේන්තුවේ වෙනත් කොම්පියුටරයකින් එම සහතික මුද්‍රණය කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මෙවන් සහතික ලබාදීමෙන් ඇය ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇතැයි සැකකරන අතර ඒ සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top