Nov 08, 2021

බඩල්කුඹුරෙන් හමු වූ හිස් කබල වේල්ල වීදියේ හමු වූ කාන්තා මළ සිරුරේද ?

බඩල්කුඹුර - පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පාළු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් බඩල්කුඹුර පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

බඩල්කුඹුර, අළුපොත ප්‍රදේශයේ මිනිස් හිස් කබලක් ඇති බවට පෙරේදා (06) වැනිදා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත බඩල්කුඹුර පොලිසිය එම ප්‍රදේශයට ගොස් මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

අදාළ ඉඩමේ කොකෝවා කැඩීමට ගිය වයස අවුරුදු 10ක දරුවෙකු මෙම හිස්කබල දැක පසුව එම දරුවා ඒ පිළිබඳව ඔහුගේ සහෝදරියට පවසා ඇති අතර ඇය 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

පොලිසිය මේ වනවිට අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම හිස්කබල වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත ය.
මීට මාස කිහිපයකට පෙර කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේදී ඝාතනය කර හිස කඳින් වෙන් කර ගමන් බෑගයක් තුළ දමා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමු විය.

එහි ඝාතකයා වූයේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්‍ෂකවරයෙකි.
එලෙස ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස තවමත් සොයාගෙන නොමැති අතර එම හිස සොයා තවමත් පරීක්‍ෂණ සිදුකරමින් පවතී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top