Nov 09, 2021

විදුලි අර්බුදය උග්‍ර අතට හැරෙයි; නොරොච්චෝලේට ගල්අගුරුත් නෑ

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.

ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවද ලංවීම සභාපති එම්.සී.සී. ප්‍රදිනාන්දු මහතා මාධ්‍යට හෙළිකර තිබේ.

මේ තත්ත්වය නිසා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා පවසා තිබේ.

එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත්, ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති කියා සිටී.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවද ඒ මහතා හෙළිකර තිබේ.

ලබන වසරේ අප්‍රේල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකිවීමෙන් දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අප්‍රේල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව ඇතැයිද වාර්තා වේ.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් ක්‍රියා පටිපාටියට අනුව මිලදී ගැනීමය. 

ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේය.

ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අහෝසිවීම නිසා මෙම ගැටලූව නිර්මාණය වී ඇත.

ගල්අඟුරු හිඟය, මිල ඉහළ යාම, ඩොලර් හිඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අර්බුදය උග්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අනතුරු අඟවා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top