Nov 09, 2021

කතරගම දේවාලයට පූජා කළ කෝටි 5ක මැණිකකුත් අතුරුදහන්!

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් කතරගම දේවාලයට  පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමක් ඇති මැණිකක් ද අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.

මේ අතර කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අංගොඩ ලොක්කාගේ බිරිද වන අගම්පොඩිගේ නිසසංලා නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ  (09) ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

අංගොඩ ලොක්කගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වැනිදා බව පැවසේ. . 

මෙම රන් තැටිය අතුරුදන්වීම සම්බන්දයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට තොරතුරු ලැබී ඇත්තේ වට්ස් ඇප් පනිවුඩයක් ඔස්සේය. 

ඒ, ඉකුත් ඔක්තෝම්බර් මස 17 වැනිදා වන අතර ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් ඔක්තෝම්බර් මස 18 වනදා ඒ පිළිබද පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කර තිබේ. 

ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කර ඇත්තේ ඒ අනුවය.

එම විමර්ශණ ආරම්භ වීමත් සමඟ පසුගිය  26 වැනිදා එන්. එම්. අජිත් පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් අතුරුදන්වූ රන් තැටියට සමාන රන් පැහැති තැටියක් ගෙනවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයාට භාරදී ඇති බවද පැවසේ.

ඔහු සදහන් කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායකගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු විසින් එම රන් පැහැති තැටිය දේවාලයට භාර දෙන ලෙස පවසා තමන් වෙත භාරදුන් බවයි. 

අදාළ තැටිය දේවාලයට අයත් එකක් බව ප්‍රධාන කපු මහතා එහිදී ප්‍රකාශ කළ බව එන්. එම්. අජිත් පුෂ්පකුමාර නමැත්තා දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම්දී ඇති බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top