Nov 10, 2021

චීස්.. චීස්.. රෝසි 2ක් එළියට දායි; මේ සභාවේ පට්ට හොරු -  රෝසි

රුපියල් 68,000 ක චීස් කෑවා කියමින් මට මඩගහන, මගේ චරිතය ඝාතනය කරන පුද්ගලයන්ට, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.’’ යැයි කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඊයේ (09) කොළඹ මහ නගර සභා රැස්වීමේදී පැවසීමත් සමඟ නගර සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.

පුරපතිනිය සිය කතාව කරන අතරවාරයේදී නාගරික මන්ත්‍රීවරුන් වන එම්. එච්. එම්. නවුෆර් (එජාප) සහ මහින්ද කහදගම (පො.ජ.පෙ.) යන මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කරගනිමින් වාද කර ගැනීම නිසා සභාව තවත් උණුසුම් වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

නවුෆර් මහතා නගරාධිපතිනියට බොරු චෝදනා නගා ඇති බවට ප්‍රකාශ කිරීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් බවත්, පසුව එහිදී පුරපතිනිය දෙදෙනාට සන්සුන් වන ලෙස කීවත් ඔවුන් ඊට අවනත වී නොමැත.

අනතුරුව නගර සභා රැස්වීමෙන් ඔවුන් දෙදෙනා පිටතට රැගෙන යන ලෙස සභාවේ වේත‍්‍රධාරීන් හට පුරපතිනිය උපදෙස් දී තිබේ.

එහෙත් නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පට්ට හොරා’’ ‘පට්ට හොරා’ යැයි කියමින් කෑ කෝ ගසා ඇති අතර එම ගාලගෝට්ටියත් සමඟ පුරපතිනිය සභාව විනාඩි පහකට කල් තබා ඇත.

මෙහිදී සභාව ඇමතූ සේනානායක මහත්මිය....

"මම කවදාවත් හොරා කාලා නැහැ. මම සත පහක්වත් වංචා කරලා නැහැ. අහිංසක මහජනතාවගේ බදු මුදල් නාස්තිකරලා නැහැ. මට දීපු සංග්‍රහ දීමනාවවත් අරගෙන නැහැ. ජීවිතේට වත් දූෂිත විදිහට කටයුතු කරලා නැහැ. මෙදා සැරේ බජට් එකේ සංග්‍රහ දීමනාව රුපියල් මිලියන 35 කට වැඩි කරලා තියෙනවා. මම ඒක මිලියන 15 කට අඩු කළා. මගේ නමට තියෙන සංග්‍රහ දීමනා භාවිතකරන්නේ නගර සභාවේ කොමසාරිස් කාර්යාලයේ හා අනෙකුත් දෙපාර්තමේන්තු කියන එකත් හොඳට මතක තියාගන්න. මගේ නමින් දාලා මට මඩ ගැහුවාට මේවා ඔක්කොම භාවිත කරන්නේ වෙන අය. මේ සැරේ මම ඒක මිලියන 15 කට අඩු කරලා තියෙනවා.

මම ප්‍රාදේශීය කොමසාරිස්තුමිය ලිඛිතව දැනුවත් කළා මට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් කරන්න කියලා.

සත්‍ය විකෘති කරන්න එපා. නිලධාරීන් හෝ වේවා මන්ත්‍රීවරුන් හෝ වේවා සත්‍ය විකෘති කරන්න එපා. මේ නගර සභාවේ පුළුවන් තරම් බලන්නේ අවම වියදමකින් මහජනතාවට වැඩි වාසියක් වන විදිහට සේවාවක් ලබා දෙන්නයි.

නාගරික මන්ත්‍රී එම්. එච්. එම්. නවුෆර් මහතා (එ.ජා.ප.)

චීස් කෑවා කියලා කතාවක් අල්ලගෙන දඟලනවා. නමුත් ඒක නෙවෙයි අපි ඉන්න සභාවෙම ඉන්නවා පට්ට හොරු ටිකක්. අපි ආවේ ජනතාවට සේවයක් කරන්න.

නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා (ශ්‍රී.ලං.පො.පෙ.)

මම මේ චීස් සිද්ධියට අදාළව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඔබතුමියට පුළුවන් තව සොයා බලන්න.

මූලාශ්‍රය - දිවයින

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top