Nov 16, 2021

28දා සිට දහම් පාසැලුත් ඇරෙයි

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නොවැම්බර් 28දා සිට දහම් පාසල් යළි විවෘත කළ හැකි බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
 
දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් හා අනෙකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.
 
එළැඹෙන ඉරිදා (21) පූර්ව කටයුතු සූදානම් කර සෞඛ්‍ය මාර්ගෝපදේශයන් තරයේ අනුගමනය කරමින් 28දා සිට දහම් පාසල් විවෘත කරන ලෙස එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
 
පාසල්වල 6,7,8,9 ශ්‍රේණි ත් ලබන සඳුදා සිට
 
මේ අතර, දිවයිනේ සියලු පාසල්වල 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 22දා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (16) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹුනු බව එහි දැක්වේ.
 
කොවිඩ්-19 වසංගතය හමුවේ වසාදැමුනු පාසැල් අදියර 4කින් යළි විවෘත කිරීමට පසුගියදා අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර තිබුණු අතර, 6,7,8,9 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මෙලෙස ඇරඹෙන්නේ සිවුවැනි අදියර යටතේය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top