Nov 17, 2021

පොලිසියෙන් තරුණයෙකු මැරූ කතාව බොරු - සරත් වීරසේකර

පොලිසිය සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එම පක්ෂයේ නියෝජිතයන් කරන චෝදනාව අමූලික බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.

පනාමුරේ පදිංචි ඉන්දික ජයරත්න නැමැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවකු බවත් ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පැමිණිලි ලැබී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

තමාට පොල්ලකින් පහර දුන් බවට මෙම පුද්ගලයාගේ දියණියපසුගිය 12 වැනි දා පොලිස් පැමිණිල්ලක් සිදුකර ඇති බවට එදින සිට අතුරුදහන්ව සිටි මොහු ඊයේ (16) රාත්‍රී 10 ට පමණ අත්අඩංගුවට ගත් බවත් ඊයේ අලුයම සිරමැදිරියේ ඇඳුමකින් ගෙල සිරකර ගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිසිය විසින් ඔහුව රෝහල්ගත කිරීමට ගෙන යනවිට මියගොස් ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මොහු සහ ඊයේ පැවති සමගි ජන බලවේගයේ පෙළපාළිය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් පොලිසියට එරෙහිව කරන මෙම චෝදනාව අමූලික බොරුවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම පුද්ගලයා හට පොලිසිය විසින් පහරදී මරා ඇති බවට පවසමින් ප්‍රදේශයේ විශාල ජනකායක් අද පෙරවරුවේ පනාමුරේ පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටි බවද වාර්තා වේ.

මේ හේතුවෙන් කොලොන්න - ඇඹිලිපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇති වූ බව පැවසේ. 

කෙසේවුවද, ඉහත සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පනාමුරේ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

Panamura statement

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top