Nov 17, 2021

වාසු, බන්දුල IMF ණය එපා කියලා; ආණ්ඩුව ඇතුළේ දැඩි ගැටුමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තත්ත්වය අනුව ලබන පෙබරවාරි මාසය වන විට තෙල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මේබව පවසා ඇත්තේ පසුගිය සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේය.

එහිදී ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර, ඉන්ධන ගෙන්වීම සඳහා පමණක් මසකට ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එසේම ඉන්ධන මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා ගත් උත්සාහය සාර්ථක වී නැතැයි ද පෙන්වා දී ඇත.

කෙසේවුවද, මේ ඩොලර් අර්බුදය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවට එක් මතයකට පැමිණීමට නොහැකිවීම මේ අර්බුදය ඉදිරි කාලයේදී වඩාත් තීව්ර කරනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය හමුවේ තිබෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීම බවට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇති බව ලංකාදීප වාර්තා කර තිබේ.

මේ තත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව දෙගිඩියාවක පසුවන බවද වාර්තා වේ.

ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් හිඟය බරපතළ ලෙස බලපා ඇති බැවින්, තවදුරටත් ප්‍රමාද නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා යොමු විය යුතුයැයි ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම කිසිසේත් අනුමත නොකරන බවට බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් දැඩි ස්ථාවරයක සිටින බවද දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් කොන්දේසි පනවනු ඇති බවත්, ජනතාවගේ සුබ සාධන කටයුතු ආදිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවත්, ඒවා ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top