Nov 19, 2021

අද ලංකාවට නොපෙනෙන චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා!

දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (19) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.

ඒ අනුව මේ දින වල සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහලෝක තුන වන බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු හිරු බැස යෑමෙන් පසු බටහිර අහසේ එක පෙලට සිටින සේ  දැක බලා ගැනීමට අවස්ථාව ඇතැයි ඔහු කියා සිටී.

මේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත්තේ වසර 580 කට පසු බවත් ඔහු සඳහන් කරයි.

ඉන්දියාවේ නැඟෙනහිර ප්‍රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වුවත් ශ්‍රී ලංකාවට එය දිස්නොවන බවද මාධ්‍ය වෙත පවසා තිබේ. 

අර්ධ චන්ද්‍රග්‍රහණ අවධියේ සම්පූර්ණ කාලය පැය 3යි විනාඩි 28 ක් බවද වාර්තා වේ.

චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන්  පෙරවරු 11.32 ට ආරම්භ වී පස්වරු 5.33 ට අවසන් වීමට නියමිතය.

සම්පූර්ණ කාලය පැය 6 යි මිනිත්තු 1 ක් වන දීර්ඝ කාලයකි. 

මෙසේ දීර්ඝ කාලීනව පැවතීමට හේතුව වන්නේ චන්ද්‍රයා එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියේ සිට ඇති දුරම ස්ථානයේ පිහිටි විටෙකදී චන්ද්‍රයාගේ කක්ෂීය වේගය අවම වන හෙයින් එම අවස්ථාවක දී මේ ග්‍රහණය සිදු වීම බව තාරකා විද්‍යාඥ මතය වේ.

සාමාන්‍යයෙන් සති දෙකක පරතරයක් ඇතිව එක දිගට ග්‍රහණ දෙකක් ඇතිවන බවද පැවසේ. 

ඒ අනුව දින 14කට පසු දෙසැම්බර් 4 වැනි දින පෙරවරු 10.59 ට ආරම්භ වී පස්වරු 3.07 ට අවසන් වන  පූර්ණ සූර්යග්‍රහණයක් ද සිදුවීමට නියමිතය.

මෙම සූර්යග්‍රහණය ද  ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර ඇන්ටාක්ටිකාවට, දකුණු අප්‍රිකාව සහ නැමීබියාවේ ප්‍රදේශ කීපයකට පමණක් දිස්වනු ඇතැයි පැවසේ.

මේ දිනවල ශ්‍රී ලංකාවට දර්ශනය වන ග්‍රහණ ඉතා විරලව පවතින බවත්, 2022 වසරේ ශ්‍රී ලංකාවට ග්‍රහණ දෙකක් පමණක් දිස්වනු ඇති බවත් චන්දන මහතා හෙළිකර ඇත.

ඒ ඔක්තෝබර් 25 වැනිදා අර්ධ සූර්යග්‍රහණයක් සහ නොවැම්බර් 08 වැනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන්  බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියා සිටී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top