Nov 19, 2021

දිස්ත්‍රික් 5කින් කොවිඩ් පොකුරු!

දිවයිනේ දිස්ත්‍රික්ක 5කින් කොවිඩ් පොකුරු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
 
ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් එවැනි පොකුරු හඳුනාගෙන ඇති බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් ඒ ඒ ප්‍රදේශ වල වත්වනු ලබන මංගල උත්සව, ආගමික කටයුතු සහ වෙනත් උත්සව හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව ඔහු කියා සිටියි.
මේ ආකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මහජන රැස්වීම් දිගටම සිදුවී  අනතුරුදායක තත්වයක් ඇති වුවහොත් මෙම පොකුරු පාලනය කිරීමට නොහැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
 
උත්සව සමයේදී යළිත් රට වැසෙන අවදානමක්?
මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටින්නේ ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බවයි.

සති අන්තයේ විවිධ ප්‍රදේශවල විනෝද චාරිකා සඳහා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවද ඔහු පෙන්වා දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top