Nov 26, 2021

ද. අප්‍රිකාවෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක්

දකුණු අප්‍රිකාවෙන් මතු වී ඇති නව කොවිඩ්-19 ප්‍රභේදය සම්බන්ධයෙන් අද (26) දිනයේදී ජගත් සෞඛ්‍ය සංවිධානය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

අනෙකුත් ප්‍රභේද වලට මෙන් B.1.1.529 ලෙස දැනට හැඳින්වෙන මෙම ප්‍රභේදයටද ග්‍රීක හෝඩිය ඇසුරෙන් නමක් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවමත් මෙම ප්‍රභේදය සොයාගෙන වැඩි දිනක් නොමැති අතර, එම රෝගීන් වැඩිදෙනෙකු හමුවී ඇත්තේ දකුණු අප්‍රිකාවේ එක් පළාතකිනි. කෙසේවෙතත්, මෙම ප්‍රභේදය තවදුරටත් පැතිරී තිබෙන බවටද මේ වන විට සැක පහළ වී ඇත.

මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ වසංගත ප්‍රතිචාර සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක - මහාචාර්ය ටූලියෝ ද ඔලිවේරා මහතා පවසා ඇත්තේ මෙම ප්‍රභේදය අසාමාන්‍ය ලෙස විකෘති වූ ප්‍රභේදයක් බවත්, මීට පෙර හඳුනාගත් කොවිඩ්-19 ප්‍රභේද වලට වඩා ඉතා වෙනස් බවත්ය.

මේ අතර, නව කොවිඩ්-19 ප්‍රභේදයෙන් ඇතිව තිබෙන තර්ජනය හමුවේ අප්‍රිකානු රටවල් 6කින් පැමිණෙන ගුවන්ගමන් සියල්ලම තාවකාලික තහනම් කිරීමට එංගලන්තය පියවර ගෙන තිබේ. මෙලෙස තහනම් වී ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසොතෝ හා එස්වාටිනී යන අප්‍රිකානු රටවලින් ඇරඹෙන ගුවන්ගමන් ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top