Dec 06, 2021

බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී ඇතුළු පිරිස නිදහස්

2016 බැඳුම්කර නඩුවේ චෝදනා 22ක් අතුරින් 11කින් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දසදෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද (06) නිදහස් කර තිබේ.

අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබා දුන්නේය.

එම නඩුවට අදාළ මූලික විරෝධතා සම්බන්ධයෙන් තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනාවලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බවය.

ඒ අනුව එම චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ, පැමිණිල්ල විසින් ගොනුකර තිබූ චෝදනාව 22 ක් අතුරින් චෝදනා 11 කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍රය සංශෝධනය කරනවාද ඉවත් කරගන්නවාද එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව ජනවාරි මස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

(මූලාශ්‍රය : දෙරණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top