Jan 19, 2022

චීනෙන් ගෙන්වන හාල් කාබනිකද?

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මෙරටට පරීත්‍යාග කිරීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් - සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි.

මේ කරුණ පිළිබඳව අද (19) පැවති කැබිනට් මණ්ඩල මාධ්‍ය සාකච්ඡාවේදී ද අවධානය යොමු කරමින් මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම සහල් තොගය කාබනිකද යන්න බවයි.

ඒ සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන්ම නොදන්නා බවත් එසේ විය යුතු යැයි විශ්වාස කරන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක - ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ නිශ්චිත පිළිතුරක් ලබාදීම සඳහා දැනුවත්කමක් නොමැති බවත්, ඒ පිළිබඳව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් විමසා දැනුවත් කරන බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතාද මෙහිදී පැවසුවේ මෙම ප්‍රදානය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top