Jan 23, 2022

ඔමික්‍රොන් නිසා නවසීලන්ත අගමැතිනිය සිය විවාහය අවලංගු කරයි!

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සමාජය පුරා පැතිර යාමේ වේගය අඩු කිරීම සඳහා නවසීලන්තය විසින් නව නීති හඳුන්වාදී ඇති අතර, එරට අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන් අද (23) පවසයි.

මංගල උත්සවයකින් පසුව ඔමික්‍රොන් රෝගීන් 09කගේ පොකුරක් මතුවීම හේතුවෙන් එක්රැස්වීම් සම්බන්ධයෙන් නවසීලන්තය මෙම නව නීති හඳුන්වාදී ඇත.

නවසීලන්තයේ උතුරු දූපතේ පැවති මෙම මංගල උත්සවයෙන් අනතුරුව එක් පවුලක් ගුවන් යානයකින් දකුණු දූපතට පැමිණ ඇති අතර, එම පවුලේ සමාජිකයන් හා ගුවන් යානයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මෙම නව නීති අතර විවාහ උත්සව වලට පනවා ඇති නීති ද ඇතුළත් වේ.  මාධ්‍යවේදීන් අමතමින් ඇය පවසා ඇත්තේ මේ තත්ත්වය යටතේ සිය විවාහ උත්සවයද අවලංගු කළ බවයි.

තමා හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන අනෙකුත් නවසීලන්ත ජාතිකයන් හටද සිය කණගාටුව පුද කරන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ආර්ඩන් හා ඇගේ සහකරු වන ක්ලාක් ගේෆෝඩ් අතර විවාහය පැවැත්වෙන දිනයක් නිල වශයෙන් නිවේදනය කර නොතිබුණු නමුත්, එය ඉක්මනින් සිදුවනු ඇති බවට වාර්තා වී තිබුණි.

විවාහ උත්සවය නවතාදැමීම පිළිබඳව ඇගේ හැඟීම් පිළිබඳව මාධ්‍යවේදීන් ඇගෙන් විමසූ විටදී ඇය පවසා ඇත්තේ ජීවිතයේ ස්වභාවය එය බවයි.

වසංගතය හේතුවෙන් වඩාත් දරුණු බලපෑමක් ඇති වූ තවත් දහස් ගණනක් නවසීලන්ත වැසියන්ගේත් තමන්ගේත් වෙනසක් නොමැති බවත් පැවසූ ආර්ඩන් වැඩිදුරටත් කියා සිටියේ කෙනෙකු හට දැනෙන දරුණුම දුක වන්නේ ආදරණීයයෙකු බරපතල ලෙස ගිලන් වූ අවස්ථාවකදී ළඟ සිටීමට නොහැකි වීම බවත්, එය තමාට දැනෙන දුකට වඩා බෙහෙවින් වැඩි වන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top