Jan 28, 2022

උ/පෙළ සති 20කින් කල් දමන්න ඉල්ලා පෙත්සමක් Featured

පෙබරවාරි 07දා ආරම්භ වන උසස් පෙළ විභාගයේ කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද අභියාචනාධිකරණයට අද (28) දිනයේදී රීට් පෙත්සමක් ගොනු කෙරුණි.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම රීට් පෙත්සම ගොනු කර තිබුණි.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල පාඩුවක් සිදු වූ බවත්, විෂය නිර්දේශ හා නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එබැවින් උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබාදිය යුතු බව ජාතික අධ්‍යාපන ආයතනය රජය වෙත නිර්දේශ කර තිබුණ ද එය අධ්‍යාපන අමාත්‍යාංශය සහ එහි ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු පෙත්සමින් පෙන්වා දුන්නේය.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති කාල සටහන බල රහිත කර විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top